colombo-university-narahenpita-hostel

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන්ගේ නේවාසික පහසුකම් වෙනුවෙන් නිවාස ඒකක 144න් සමන්විත මහල් නිවාස සංකීර්ණයක් ඉදිකර තිබේ.
කොළඹ, නාරාහේන්පිට, කාලිංග මවතේ මෙම නිවාස සංකීර්ණය ඉදිකර තිබෙන්නේ නාගරික සංවර්ධන අධිකාරිය විසිනි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරන්නේ මෙම නිවාස සංකීර්ණය කොළඹ විශ්වවිද්‍යාලයට බාරදීම සඳහා මෙම සතියේදී අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවයි.



ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ අධීක්ෂණයෙන් ඉදිකෙරුණු මෙම නිවාස සංකීර්ණයේ සිසු සිසුවියන් 800කට පමණ නේවාසිකාගාර පහසුකම් සැලසීමට නියමිතය.

වර්ග අඩි 450කින් සමන්විත මෙම එක් නිවසක් නිදන කාමර දෙකකින් සමන්විතවේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ වර්තමානයේදී මෙම නිවසක වටිනාකම රු. ලක්ෂ 60ක් පමණ වන බවයි. මෙම නේවාසික නිවාස ඒකකය කොළඹ විශ්වවිද්‍යාලයට ලබාදෙන්නේ නිදහස් දීමනාවක් ලෙසය.

නේවාසිකාගාර පහසුකම් නොමැතිවීම නිසාවෙන් පසුගිය කාලයේ බොහෝ විශ්වවිද්‍යාල සිසු සිසුවියෝ දැඩි අසීරුතාවට පත්වූහ. ඇතැම් විට විශ්වවිද්‍යාලවල උද්ඝෝෂණ පවා ඇති විය.



නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මේ ආකාරයට රාජ්‍ය මැදිහත්වීම මත නේවාසිකාගාර ඉදිකිරීමෙන් විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට ගැටලුවකින් තොරව අධ්‍යයන කටයුතු කිරීමේ අවස්ථාව ලැබෙන බවයි. බොහෝ දුරබැහැර සිට විශ්වවිද්‍යාලයට පැමිණෙන සිසු සිසුවියන්ට මෙය ඉතා ප්‍රයෝජනවත් වනු ඇතැයිද හෙතෙම සඳහන් කරයි.