custom-demolishing-goods

රේගුව විසින් අත්අඩංගුවට ගන්නා භාණ්ඩ විනාශ කර දැමීමට එරෙහිව විවිධ පිරිස් ප්‍රකාශ සිදුකළද, අදාළ කටයුතු සිදුකරනු ලබන්නේ, පවතින නීතිමය තත්ත්වයන් යටතේ බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.බුද්ධිමය දේපළ පනතට හා රේගු ආඥා පනතට පටහැණිව ආනයනය කිරීමේදී අත්අඩංගුවට ගෙන රාජසන්තක කරන ලද භාණ්ඩ තොගයක් විනාශ කිරීමට ශ්‍රී ලංකා රේගුව පසුගියදා කටයුතු කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ විවිධ පුද්ගලයන් අදහස් දක්වා තිබෙන බවද එම දෙපාර්තමේන්තුව ඊයේ (31)මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දුන්නේය.

ලෝක වෙළෙඳ සංවිධානය මගින් ප්‍රකාශයට පත් කෙරුණු වෙළෙඳාමට අදාළ බුද්ධිමය දේපළ අයිතීන්' (Trade Related Intellectual Property Rights - TRIPS) පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය මගින් ලෝක ප්‍රජාව බුද්ධිමය දේපළ ආරක්‍ෂා කිර්ම සඳහා ගිවිසුම්ගත වුණු අතර, ශ්‍රී ලංකාව එහි පාර්ශ්වකරුවෙකු ලෙස අත්සන් තබා තිබෙන බවද එම නිවේදනය මගින් පෙන්වාදී ඇත.

එම සම්මුතිය ශ්‍රී ලංකාව තුළ නීතිගත කිර්ම 2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනත මගින් සිදුකර තිබන බවත්, එමෙන්ම එම පනතේ ආනයන හා අපනයන භාණ්ඩවලට අදාළ ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීම රේගු ආඥා පනතේ 125 A වගන්තිය යටතේ ශ්‍රී ලංකා රේගුවට පැවර් ඇති බවත් අදාළ නිවේදනය මගින් පෙන්වා දෙයි.

මෙම නීතිර්තිවලට අනුව බුද්ධිමය දේපළ පනතේ විධිවිධාන උල්ලංඝනය කෙරෙන භාණ්ඩ, එනම් වෙළෙඳ නාම (trade marks) වංචනික ලෙස භාවිත කරමින් ව්‍යාජ ලෙස නිෂ්පාදනය කරන ලද අනුකරන භාණ්ඩ (counterfeit trade mark goods) හෝ ප්‍රකාශන හිමිකම අයිතිකරුගේ අවසරයකින් තොරව නිපදවන භාණ්ඩ (pirated copyright goods) හෝ අනෙකුත් භාණ්ඩ ශ්‍රී ලංකාව තුළට ආනයනය කිරීම තහනම් කර ඇති භාණ්ඩ ලෙස සැලකිය යුතුය. එසේ තහනම් කර ඇති භාණ්ඩ රට තුළට ආනයනය කළහොත් ඒවා අත්අඩංගුවට ගැනීම, රාජසන්තක කිර්ම හා ඉන්පසු අපහරණය(disposal) කිරිම ශ්‍රී ලංකා රේගුවට පැවර් ඇති වගකීම බවද එම නිවේදනයේ සඳහන් කර තිබේ.



එම නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වාදී තිබෙන්නේ, පසුගිය දිනෙක විනාශයට පත් කරන ලද භාණ්ඩද බුද්ධිමය දේපළ පනත හා රේගු ආඥා පනතේ අදාළ නීතිර්ති උල්ලංඝනය කරමින් ආනයනය කරන ලද ව්‍යාජ අනුකරණ භාණ්ඩ (counterfeit goods) වන අතර, එම නිසා ඒවා රේගුව මගින් අත්අඩංගුවට ගෙන රාජසන්තක කරන ලද භාණ්ඩ වේ. රේගු ආඥා පනතට අනුව එසේ රාජසන්තක කරන ලද භාණ්ඩ අපහරණය කිරීම ක්‍රම දෙකකට සිදුකළ හැකිය.

පළමු ක්‍රමය නම්, එම භාණ්ඩ වෙළෙඳ ප්‍රවාහයට එක් නොකර වෙළෙඳ නාම හිමිකරුවන්ගේ අයිතීන්ට අගතියක් නොවන පරිදි අපහරණය කිරීම. (මෙහිදී තමන්ගේ අයිතීන්ට අගතියක් වන්නේද යන්න තීරණය කිරීමට වෙළෙඳ නාම හිමියන්ට අවස්ථාවක් දිය යුතු වේ.) දෙවැනි ක්‍රමය නම්, එම භාණ්ඩ විනාශ කිරීමයි.කෙසේ වෙතත්, ප්‍රශ්නගත භාණ්ඩවල වෙළෙඳ නාම හිමිකරුවන් ඔවුන්ගේ ශ්‍රී ලාංකික නියෝජිතයන් හරහා ශ්‍රී ලංකා රේගුවෙන් ලිඛිතව ඉල්ලා ඇත්තේ, ඒවා විනාශ කර දමන ලෙසයි. එමෙන්ම ඒ සඳහා යන වියදම දැර්මටද ඔවුන් එකඟ වී ඇත.



ඉහතින් දැක්වූ කරුණු අනුව, පවතින නීතිමය තත්ත්වය මත, ප්‍රශ්නගත භාණ්ඩ අපහරණය කිර්ම සඳහා ශ්‍රී ලංකා රේගුවට ගතහැකිව තිබූ එකම ක්‍රියාමාර්ගය ඒවා විනාශ කිරීම වන අතර, එය බුද්ධිමය දේපළ පනතට හා රේගු ආඥා පනතට පූර්ණ වශයෙන් අනුකූල වන බවද අදාළ නිවේදනය මගින් අවධාරණය කරන බවද රේගු දෙපාර්තමේන්තුව පවසයි.එම නිසා, මාධ්‍ය ඔස්සේ විවිධ පුද්ගලයන් යෝජනා කර ඇති පරිදි මෙම භාණ්ඩ විකුණා මුදල් ලබාගැනීම, වෙනත් රටකට අපනයනය කර විදේශ විනිමය උපයාගැනීම හෝ පරිත්‍යාග කිරීම වැනි ක්‍රියාමාර්ග ගැනීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

ඉන්දික හේවාවිතාරණ