dalada-perahera

කොස් ගෙඩියක් කරේ තබාගෙන සිය හත් හැවිරිදි දරුවාද රැගෙන පෙරේදා (30දා) ජනපති ගමන් ගන්නා මග දිගේ ගිය වරදට ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් එම පියා හා දරුවා රැගෙන ගොස් අතුරු මාර්ගයක බොහෝ වේලා සඟවා තබාගෙන හිංසනයට ලක් කළ බවට තිදරු පියකු පවසයි.

උඩුවකගෙදර සුදත් නමැත්තෙකු මෙම සිද්ධියට මුහුණදී තිබේ.



ගම්පොල පොලිස් කොට්ඨාසයට අයත් වාරියගල ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුව ඇත.

මහනුවර දළදා පෙරහරේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ සිටි අතර ඊට පෙර දහවල් කාලයේ දී ජනාධිපතිවරයා වාරියගල ලේක්හවුස් බංගලාව නමැති ස්ථානයට ගොස් ඇත. කිසිවෙකුටත් නොදන්වා ජනාධිපතිවරයා මෙම ප්‍රදේශයට පැමිණිය ද ඒ පිළිබඳ දැනගත් පොලිස් නිලධාරීන් එම ප්‍රදේශයට පැමිණ තිබේ.

ඒ අතර සුදත් නමැති මෙම තිදරු පියා දහවල් ආහාරයට කොස් ගෙඩියක් ද සොයාගෙන සිය හත් හැවිරිදි දරුවා සමග මෙම මාර්ගයේ පැමිණෙමින් සිටියදී මෙසේ පොලීසියට හසුව ඇත.



එහිදී ඔහු පොලීසියට පවසා ඇත්තේ දරුවන් තිදෙනා හා බිරිඳ ඇතුළු සියලු දෙනා කුසගින්නේ සිටින නිසා කොස්ගෙඩිය තැම්බීමට රැගෙන යන බවය. නමුත් පොලීසිය තමා හා දරුවා ඔවුන් භාරයට ගෙන අතුරු මාර්ගයට රැගෙන ගොස් ජනාධිපතිවරයා නැවත ප්‍රදේශයෙන් පිට වන තුරු රඳවා තබාගත් බව ඔහු පැවසීය.

මේ නිසා 3 ,7 ,9 හැවිරිදි වියේ පසුවන දරුවන්ට හා බිරිද හා තමාට එදින කුසගින්නේ සිටීමට සිදු වූ බවද ඔහු පවසා සිටියේය. මෙම තිදරු පියාගේ නිවසද සාරී හා තහඩුවලින් වට කර සැදූ වක් වන අතර කිසිදු රැකියාවක් නොමැති ඔහු කුලී වැඩ කර ජීවිකාව ගෙන යන බවද වැඩිදුරටත් පවසා සිටියේය.

ගම්පොළ - සුරංග දිල්හාන්