dandugan-oya-dead-body

තරුණයකුට පහර දී ඝාතනය කර සිරුර ගමන් බෑගයක දමා සීදුව දඬුගංඔය ඉවුර ආසන්නයේ දමා යෑමේ සිද්ධියට සම්බන්ධ එකම පවුලේ පියා, පුතුන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් හය දෙනකු ඊයේ (18) අත්අඩංගුවට ගත් බව සීදුව පොලිසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කුඩාවැව මහවැව ප්‍රදේශයේ පදිංචි සුසන්ත රංජන් රණසිංහ (36) නමැති අවිවාහක),තරුණයෙකි.ප්‍රධාන සැකකරුගේ වැඩිමහලු පුතා ජපානයේ රැකියාවකට යවන බව පවසා රුපියල් ලක්ෂ 24ක මුදලක් ලබගෙන වංචා කළ බව කියන සිද්ධියක් මුල්කරගෙන මෙම තරුණයාට පහර දී ඝාතනය කර ඇති බවට පොලිසිය තොරතුරුහෙළි කරගෙන ඇත.



පුද්ගලයන් විදේශ ගත කරන බවට පවසමින් මුදල් ලබාගෙන වංචා කිරීමේ චෝදනා රැසක් ඝාතනයට ලක්වූ තරුණයාට එරෙහිව ඇති බවටත්, ඔහුට එරෙහිව මාදම්පේ, කටාන, බණ්ඩාරවෙල යන පොලිස් ස්ථානවලට පැමිණිලි රැසක්ලැබී ඇති බවටත් පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.ඝාතනයට ලක්වූ තරුණයා හා සැකකරුවන් හිතවත් පුද්ගලයන් බවත්. ඉකුත් 11 වැනිදා සැකකරුවන්ට පිටකොටුව ප්‍රදේශයේ දී මෙම තරුණයා හමුවී ඇති අතර, ඔවුන් සූක්ෂම ලෙස තරුණයා ඔවුන්ගේ මෝටර් රථයේ නංවාගෙන කටාන දාගොන්න අක්කර 50 ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ පොල් ඉඩමකට රැගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.

එහිදී පිරිස තරුණයාගෙන් මුදල් ඉල්ලා ඔහුට අතින් පයින් හා පොලුවලින් පහර දී ඇති බව ද පොලිසිය පවසයි.පහර දීමෙන් පසු සැකකරුවන් තරුණයා මෝටර් රථයේ යළිත් නංවාගෙන  ඔවුන්ට අයත්සීදුව ප්‍රදේශයේ හෝටලයකට රැගෙන ගොස් එහි කාමරයක දී ඔහුට නැවත පහර දී ඇතැයි පොලිසිය කියයි.එම පහර දීමට සැකකරු හා ඔහුගේ පුතුන් දෙදෙනා ඔවුන් යටතේ සේවය කරන සේවකයන් තිදෙනකු ද සම්බන්ධ වී ඇති බව පොලිසිය සඳහන් කරයි. පහර දීමෙන් තරුණයා මියගොස් ඇති අතර, පිරිස තරුණයාගේ සිරුර ඔවුන් බාරයේ තිබූ ගමන් බෑගයකට අසුරා එදිනම රාත්‍රී 12.00 ට පමණ එය මෝටර් රථයේ දමා රැගෙන ගොස් දඬුගංඔය ඉවුර අසල දමා පලාගොස් ඇතැයි පොලිසිය කියයි.



ගං ඉවුරේ දමා තිබූ මළ සිරුර සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) ඉකුත් 15 වැනිදා ලද තොරතුරකට අනුව, පොලිසිය මෙම මළ සිරුර සොයාගෙන ඇත.මෙම ඝාතන සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ සීදුව පොලිසිය ප්‍රදේශයේ සී.සී. ටී.වී. කැමරා පරීක්ෂා කර ඇති අතර රතු පැහැති සැක කටයුතු මෝටර් රථයක් සම්බන්ධයෙන් එහිදී තොරතුරු හෙළිවී ඇත.එම මෝටර් රථයේ අංකය අනුව පරීක්ෂා කර, එහි  හිමිකරු සම්බන්ධයෙන් තොරතුරු හෙළි කරගෙන කටානේ සැකකරුගේ නිවසට ගොස් ඔහු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු අනුව, ඔහුගේ පුතුන් දෙදෙනාහා සෙසු සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. සිද්ධිය මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග මියගිය පුද්ගලයාගේ මව මළ සිරුර හඳුනාගෙන ඇති බව ද පොලිසිය පවසයි.

ඉන්දිකා රාමනායක