doctor-specialist-63-retire-issue

රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා කාලය වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය හා ඊට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය විසින් ඊයේ (25 වැනිදා) නීතිපතිවරයාට නියෝග කරනු ලැබීය. රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් වයස අවුරුදු 60දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට රජය ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් 176 දෙනෙකු ඇතුළු පිරිසක් ගොනු කළ පෙත්සම් කැඳවනු ලැබූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේය.



පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර වෛද්‍යවරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 63 දක්වා දීර්ඝ කරමින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත්ව චක්‍රලේඛයක් නිකුත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා මීට පෙර අධිකරණය හමුවේ දිවුරුම් පෙත්සමක් ගොනු කළ බව සඳහන් කළේය. එහෙත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාමික වයස් සිමාව 63 දක්වා දීර්ඝ කිරීමේ තීරණය 2024 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා දක්වා බලපැවැත්වෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මෙය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා අධිකරණයට ලබාදුන් පොරොන්දුවට පටහැනිව ගොස් ක්‍රියා කිරීමක් බවට චෝදනා කළේය.



මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ මේධක ප්‍රනාන්දු සඳහන් කළේ සෞඛ්‍ය ලේකම්වරයා දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට දැනුම්දී තිබුණේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සිමාව අවුරුදු 63තෙක් දීර්ඝ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතියට යටත්ව සිදු කරන බවයි.

ඒ අනුව වයස අවුරුදු 63 දී විශ්‍රාම ගැන්වීමේ තීරණය 2024 දෙසැම්බර් මස 31 වන තෙක් පමණක් බලපවත්වන පරිදි සිදු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවත් එම අමාත්‍ය මණ්ඩල තීරණය අනුව මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බවත් රජයේ නීතිඥවරයා කියා සිටියේය.

කේ. එස්. උදය කුමාර