dodangoda-incident

වෑන් රථයකින් කුලී ගමනක් ගිය පිරිසක් රියැදුරුගේ ගෙලට පිහියක් තබා රුපියල් හතළිස්අටදහසක මුදලක් කොල්ල කා පලා ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි දොඩන්ගොඩ පොලිසිය පැවසීය.

බෙලිඅත්ත, දම්මුල්ල, මාහේනේ පදිංචි 48 හැවිරිදි මෙම රියැදුරු අංගොඩ ප්‍රදේශයේ බෙහෙත් ගබඩාවේ සේවයේ නිරත අයෙකි. ඔහු අමතර රැකියවක් ලෙස කුලී රථ ආයතනයක සේවය කරයි.



පෙරේදා (27 වැනිදා) රාත්‍රියේ ලද ඇමතුමකට අනුව සිය වෑන් රථයෙන් පුද්ගලයන් දෙදෙනකු රත්මලානට ගෙනා බවත් අනතුරුව රත්මලානෙන් තවත් දෙදෙනකු වෑන් රථයට නැග මතුගම දෙසට ගමන් කළ බවත් ඔහු සිදු කළ පැමිණිල්ලේ සඳහන් වේ.

නාගොඩ රෝහල පසු කර මීටර් 100ක් පමණ ගිය පසු තවත් අයකු නංවා ගැනීමට ඇති බව පැවසූ නිසා මතුගම පාරේ ගොස් වමට හැරී රබර් වත්තක් අසල නතර කළ බවද එවිට වෑන් රථයේ පිටුපස සිටි අයකු තම ගෙලට මළකඩ කෑ පිහියක් තැබූ විට තමාට සිහි නැතිවූ බවද ඔහු පොලිසියට පවසා තිබේ.



ටික වේලාවකට පසු එම පිරිස මෙම පුද්ගලයා වෑන් රථයේ පිටුපස දමාගෙන කටුකුරුන්ද ප්‍රදේශයට පැමිණ තේ පානය සඳහා වාහනයෙන් බැස ගිය අතරවාරයේ ඔහු ඉන් මිදී පොලිසියට පැමිණ ඇත. එලෙස පැමිණ බලන විට පසුම්බියේ තිබූ මුදල් සොරාගෙන තිබූ බවද අදාළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්ය.

මේ සම්බන්ධයෙන් දොඩන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

(ලක්ඛිත විද්‍යාසේකර - කළුතර)