dubai-pros-sri-lanka

විශ්‍රාමික යුද හමුදා සාජන් මේජර්වරියක සංචාරක වීසා මත ඩුබායි රාජ්‍යයට යවා ගණිකා වෘත්තිය සඳහා යොමු කළ බව කියන මෙරට ජාවාරම්කාර කාන්තාවක් තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් තඹුත්තේගම ප්‍රදේශයේ දී ඊයේ (20) අත්අඩංගුවට ගනු ලැබුවාය.සැකකාරිය එප්පාවල ප්‍රදේශයේ පදිංචි තිස්හය හැවිරිදි තැනැත්තියක බවත් සැකකාරිය ඩුබායි හි වෙසෙන ඇගේ ඥාති සොහොයුරියක මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවත් පොලිසිය පවසයි.



අනුරාධපුරයේ පදිංචි යුද හමුදා සාජන් මේජර්වරිය හමුදා සේවයෙන් විශ්‍රාම යාමෙන් පසු ඇය ඉකුත් 2022 වසරේ ජුනි මස දී රුපියල් ලක්ෂ 5ක මුදලක් සැකකාරියට දී සුපිරි වෙළෙඳ සලක සේවය සඳහා සංචාරක වීසා මගින් ඩුබායි රාජ්‍යයට ගොස් ඇත.ඇය සතු රන් භාණ්ඩ සහ ත්‍රීරෝද රථයක් ඇතුළු භාණ්ඩ උකස්කර ලබාගත් මෙම රුපියල් ලක්ෂ 5ක මුදල සැකකාරියට දී ඇය මෙලෙස ඩුබායි රාජ්‍යයට ගොස් ඇති බව පොලිසිය පවසයි.සංචාරක වීසා මගින් විදේශගත වූ සෙබළිය ඩුබායි හි සිටින නියෝජිතයා සඳහන් කළ රැකියාවට යොමු නොකර අවස්ථා දෙකක දී මධ්‍යස්ථාන දෙකක රඳවාගෙන ගණිකා වෘත්තිය සඳහා යොමුකර ඇති බවට තොරතුරු ලැබුණ බව පොලිසිය පවසයි.

හමුදා සාජන් මේජර්වරියගෙන් ලබාගත් මුදල සැකකාරිය ඩුබායි වෙසෙන ඇගේ ඥාති සොහොයුරියගේ බැංකු ගිණුමට බැර කර ඇති බවටත් ඔවුන් මේ අයුරින් කාන්තාවන් රැසක් සංචාරක වීසා මත ගෙත්වාගෙන ගණිකා වෘත්තිය සඳහා යොමුකර ඇති බවටත් විමර්ශනවල දී අනාවරණය වී ඇත.නියමිත රැකියාව නොදීම නිසා ඇය යළිත් ලංකාවට යාමට අවශ්‍ය බවට ඩුබායි හි රැඳී සිටින එරට රැකියා නියෝජිතයා වන සැකකාරියගේ ඥාති සොහොයුරියට දැනුම්දීමෙන් පසු ඇය ඒ සඳහා රුපියල් ලක්ෂ 4ක මුදලක් ඉල්ලා ඇතැයි පොලිසිය කියයි.සෙබළිය සිද්ධිය ඇගේ මිතුරියකට දැනුම් දීමෙන් පසුව ඥාතීන්ට දැනුම් දී රුපියල් ලක්ෂ 4ක මුදල එරට රැකියා නියෝජිතවරියට ලබාදීමෙන් පසුව ඇය නැවතත් මෙරටට එවා ඇති බව පොලිසිය කියයි.



ලංකාවට පැමිණි ඇය මෙම ජාවාරම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට හා යුද හමුදාපතිවරයාට හා පොලිස්පතිවරයාට කර තිබූ පැමිණිලි මත තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය සිද්ධිය පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇත.ඒ අනුව විමර්ශන කර සැකකාරිය තඹුත්තේගම දී ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.මෙම ජාවාරම සිදුකරන ඩුබායි වෙසෙන කාන්තාව සිද්ධියේ ප්‍රධාන සැකකාරිය බවත්, ඇය මෙරටට පැමිණීමේ දී අත්අඩංගුවට ගැනීමට ඇය සම්බන්ධයෙන් විදේශ ගමන් තහනමක් ලබාගෙන ඇති බවත් පොලිසිය කියයි.රජයේ නිලධාරීන්ට දැන දැන අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර සංචාරක වීසා මගින් විදේශගතවීම් සම්බන්ධයෙන් මෙම හමුදා සාමාජිකාවට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.

ඉන්දිකා රාමනායක