dulas-anura-discussion

ජනාධිපතිවරණය ජයගැනීම සඳහා විපක්ෂයේ අපේක්ෂකයෙකුට වාසිදායක පසුබිමක් නිර්මාණය වී ඇති නිසා මේ වනවිට වැඩිම මනාප ගතහැකි සන්ධානයක් පිහිටුවීමට හා පොදු අපේක්ෂකයා වීමට කිහිපදෙනෙකු අතර පොරයක් පවතී.
 සජබය හා ඩලස් පිල අතර සාකච්ඡා අවසන් අදියරේ පවතිද්දී ඩලස් පිල හදිසියේම විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමග වෙනම සාකච්ඡා වටයක් ආරම්භ කර තිබුනේ පසුගිය කාලයේය.
 ඩලස්ලා මුලින් ශ්‍රීලනිපයත්, විමල්, ගම්මන්පිල පාරශ්වයත්, කොමියුනිස්ට් පක්ෂයත් මුණගැසී සාකච්ඡා කර තිබූ අතර එහිදී ඩලස් මාධ්‍ය හමුවේ කියා සිටියේ පොදු ප්‍රතිපත්තියක් මත කටයුතු කිරීම සඳහා මෙසේ සාකච්ඡා තමන් ඇරඹූ බවයි.
ඩලස්ලා, ජවිපෙ සමග පසුගිය සතියේ සාකච්ඡා වටයක් පැවැත්වීම ‘පොදු අපේක්ෂක‘ සිහිනයක් වෙනුවෙන් බවට දැන් කතා මතුව තිබේ.

‘පොදු ප්‍රතිපත්තියක් සකස් කරගැනීම‘ එළියේ කීවද ඩලස්ට වෙනත් අරමුණක් තිබී ඇත.
 ඉදිරි ජනාධිපතිවරණයට ජවිපෙන් අනුර කුමාර දිසානායක මහතා තරග නොවදිනු ඇති බවට දේශපාලන ක්ෂේත්‍රයේ රාවයක් පැතිර ගොස් තිබුනේ අනුර පරාජයට පත්වුවහොත් එය ඊළඟ මහ මැතිවරණය කෙරෙහි අහිතකර ලෙස ජවිපෙට එය බලපානා බැවිනි.
 අනුර තරග නොකර පොදු අපේක්ෂකයකුට සහාය දැක්වීම මගින් පක්ෂ ගනනක වාසි ලබාගැනීමට හැකතිවීම දේශපාලන තර්කයයි.
ඩලස්ලා අනුරලා හමුවී පැවති සාකච්ඡාවල අරමුණ වී තිබුණේ  විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඩලස්ට ඉදිරිපත් වීමේ හැකියාවක් ඇද්ද යන්න සොයා බැලීම බව දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.
ඒ අතරම ඩලස්ලා ඉල්ලා සිටි සාකච්ඡාව ලබාදී එම සජිත්ලා තන්නට තතනන සන්ධානය අවුල් කර දැමීමද ජවිපෙ උපායමාර්ගයක් වන්නට ඇතැයි වාර්තා පළවී තිබේ.


ඩලස්, ඩිලාන්, චරිත හේරත් ආදීන් සමග මෙම සාකච්ඡාවෙන් පසු ඩලස් මෙන්ම අනුරද මාධ්‍ය ඉදිරියේ කතා කරමින් කියා සිටියේ මැතිවරණ කල්දැමීම ගැන මෙන්ම විපක්ෂයක් ලෙස එකට වැඩකිරීමේ හැකියාව ගැන කතා කළ බව පමණි.
නමුත් පැය කිහිපයක් ගතවත්ම මෙම සාකච්ඡාවෙන් පසු ජවිපෙ ඉලක්ක කරනෙ සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත ප්‍රහාරයක් එල්ලවිය. ඩලස්, ඩිලාන්, චරිත හේරත් වැනි දේශපාලන චරිත සමග ජවිපෙ සාකච්ඡා කිරීම ඇතැමුන් අනුමත කළේ නැත.
පසුගිය සඳුදා දිනයේදී අනුර කුමාර හිරු සලකුණ වැඩසටහනට පැමි‍ණෙද්දී මෙම කුකුස ඔඩුදුවා තිබුණි.
 අනුර-ඩලස් සන්ධානය පිළිබඳවත්, ඩලස් පොදු අපේක්ෂකයා කිරීම පිළිබඳවත් සමාජ මාධ්‍ය ජාලවල දැඩිව කතාබහ වී තිබීම නිසා ඒ ගැන ප්‍රශ්න පැනනැගුණ අතර අනුර
ඉරිදා දිනයේදී පක්ෂයේ හදිසි විධායක සභාවක් කැඳවා තමන් ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ බව කියා සිටියේය. අනුර සමච්චලයට කියා සිටියේ ඩලස් පිල සමග කිසිසේත්ම සන්ධානගත වන්නේ නැතැයි කියාය.
අනුරට අමතරව ලාල්කාන්තද පසුගිය සතියේ ජවිපෙ අපේක්ෂකයා හා ඩලස් පිල සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා අනුර කුමාර බවත්, මේ දිනවල සාකච්ඡා සඳහා විවිධ පාර්ශ්ව පැමිණෙන බවත්, ඔවුන් සමග සාකච්ඡා කරන්නේ ‘සතා’ කවුද කියා දැනගෙන බවත්ය.