epf-court

භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල සේවක අර්ථසාධක අරමුදල් ආයෝජනය කිරීමේදී ගෙවන පොලිය සියයට 9ක් දක්වා අඩු කිරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන්,

එහි සාමාජිකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම, ඔක්තෝබර් 05වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (07දා) තීරණය කළේය.



ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එලෙස තීරණය විය.

කටුනායක නිදහස් වෙළඳ කලාප සේවක සංගමය ඇතුළු පාර්ශව කිහිපයක් ඉදිරිපත් කර තිබු මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය සහ එහි අධිපතිවරයා ඇතුළු පිරිසක් නම් කොට ඇත.

පෙත්සම කැඳවු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා කරුණු දක්වමින් මෙම පෙත්සම්වලට සමාන තවත් පෙත්සමක් විභාගයට නොගෙනම ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා නිශ්ප්‍රභ කළ බවත්, මෙම පෙත්සම්වල අන්තර්ගත කරුණුද නිෂ්ප්‍රභ කෙරුණු පෙත්සමේ කරුණුවලට සමාන හෙයින් මෙම පෙත්සම් ඉදිරියට පවත්වාගෙන යෑමට හැකියාවක් නැතැයි කීය.



වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනගීශ්වරන් මහතා කරුණු දක්වමින්, මෙම නඩුකරයට පාදක වන දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතේ අන්තර්ගතය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනටමත් තීරණය කර ඇති හෙයින්, මෙම පෙත්සම් ඉදිරියට පවත්වාගෙන යාමට හැකියාවක් නැතැයි කීය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන ජයම්පති වික්‍රමරත්න සහ සාලිය පීරිස් මහත්වරු කරුණු ඉදිරිපත් කරමින්, නිෂ්ප්‍රභ කළ පෙත්සමට වඩා වෙනස් කරුණු තම පෙත්සම්වල සඳහන්ව ඇතැයිද, එහෙයින් මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට තමන්ට අවසර දෙන්නැයිද කීය.

කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 05වනදා කැඳවීමට නියම කළේය.

බුද්ධිමාල් රුබේරු