exam-department-printer-issue

විභාග දෙපාර්තමේන්තුව විසින් රුපියල් 546,264,452ක වියදමක් දරා විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සඳහා ඉන්දියාවෙන් මිලදී ගනු ලැබූ වෙබ් ඩිජිටල් ප්‍රින්ටර් යන්ත්‍රය උපයෝගී කරගෙන 2022 මාර්තු මාසයේ සිට මුද්‍රණය කර ඇත්තේ සමස්ත ප්‍රශ්න පත්‍ර සංඛ්‍යාවෙන් 3.5%ක් පමණක් බව ජාතික විගණන කාර්යාලයේ තොරතුරු මගින් අනාවරණය වෙයි.



විභාග දෙපාර්තමේන්තුව විසින් 2022 වර්ෂයේ පවත්වනු ලැබූ විභාග සඳහා දෙපාර්තමේන්තුව සතු යන්ත්‍ර 10 ක් භාවිත කරමින් ප්‍රශ්න පත්‍ර 19,571,852ක් මුද්‍රණය කර තිබේ. එහෙත් මෙම මුද්‍රණ යන්ත්‍රය උපයෝගි කරගෙන මුද්‍රණය කර ඇත්තේ ප්‍රශ්න පත්‍ර 690,125ක් පමණක් බව හෙළිවෙයි. එමෙන් ම මෙම ප්‍රශ්න පත්‍රවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා රුපියල් 8,428,638ක් වටිනා වෙබ් ඩිජිටල් මුද්‍රණ යන්ත්‍රයේ කොටසක් 2018 වර්ෂයේ දී මිලදීගෙන තිබුණද මිලදී ගත් දින සිට කිසිදු ප්‍රයෝජනයක් නොගෙන පැවති බවද වාර්තාවෙයි.

වත්කම් මිලදී ගැනීමේ දී දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාව හඳුනාගත යුතු අතර, වත්කම් මිලදී ගැනීමෙන් පසු අපේක්ෂා කරන ලද ධාරිතාව ලබා ගැනීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගත යුතු බව ජාතික විගණනය මගින් නිර්දේශ කර තිබේ.
චන්දන සමරවික්‍රම