fake-compainer-fined

රහස් පොලිසියට කරන ලද බොරු පැමිණිල්ලක් මත පුද්ගලයකු අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකිරීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට වන්දි ලෙස රුපියල් ලක්ෂ 30 ක මුදලක් ගෙවන ලෙසට....... පැමිණිල්ල කළ තැනැත්තාට නියෝග කළේය. බොරු පැමිණිල්ල කළ තැනැත්තකුට මේ ආකාරයෙන් වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන් මෙරට පළමු අවස්ථාව මෙය බව සැලකේ.
මෙම සිද්ධියට වගකිවයුතු රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ජානක මාරසිංහ මහතා රුපියල් 75,000 ක මුදලක්ද, උපපොලිස් පරීක්ෂක ඒ.එස්. සුදසිංහ සහ පොලිස් කොස්තාපල් එච්.පී.පී. ප්‍රියදර්ශන යන මහත්වරුන් රුපියල් 25000 බැගින් වන්දි මුදලක්ද පෙත්සම්කරුට ගෙවන ලෙස නියෝග කෙරිණ.



ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ ගනේෂන් සැම්සන් රෝයි නමැත්තකු ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගෙන තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවය.මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස රහස් පොලිසියේ විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපති ජානක මාරසිංහ, උපපොලිස් පරීක්ෂක ඒ.එස්. සුදසිංහ, පොලිස් කොස්තාපල් එච්.පී.පී. ප්‍රියදර්ශන යන මහත්වරුන්ද පමුණුවිල ගෝනවල පදිංචි ෂවින් චතුරංග නමැත්තා ද නම් කරනු ලැබ ඇත.ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන ඒ.එච්.එම්.ඞී. නවාස්, මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගේ එකඟත්වයෙන් බුවනෙක අලුවිහාරේ මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද තීන්දුවේ මෙසේද සඳහන් වේ.රුපියලක්ෂ 30 ක මුදලක් වංචා කරන ලදැයි වගඋත්තරකාර ෂවින් චතුරංග නමැත්තා පෙත්සම්කරුට එරෙහිව රහස් පොලිසියට කරන ලද බොරු පැමිණිල්ලක් අනුව පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබ ඇත.

ඒ අනුව තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් පෙත්සම්කරු මෙම පෙත්සම ගොනු කර ඇත.ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසු පෙනී යන්නේ මෙම අත් අඩංගුවට ගැනීමට රහස් පොලිසිය කිසිදු හේතුවක් නොදන්වා ඇති බවයි.අත්අඩංගුවට ගැනීමට පෙර චෝදනා පිළිබඳ සත්‍ය අසත්‍යතාව සොයා බලා නොමැති බව අධිකරණයට පෙනී යයි.

වගඋත්තරකරුවන්ට මේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට මාස 6 ක පමණ කාලයක් තිබී ඇත. නමුත් ඒ පිළිබඳ සොයා බලා නොමැත. ෂවින් චතුරංග නමැත්තා අපරාධ යුක්ති ක්‍රියා පද්ධතිය අවභාවිත කරමින් ව්‍යාජ පැමිණිල්ලක් කර ඇති අතර ඒ පිළිබඳව කිසිදු විමර්ශනයක් කිරීමට වගඋත්තරකාර පොලිස් නිලධාරීන් කිසිදු පියවරක් ගෙන නොමැත.

මෙම තත්වය තුළ පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇත. ඒ අනුව එම ව්‍යාජ පැමිණිල්ල කළ තැනැත්තාට වන්දි ලෙස රුපියල් ලක්ෂ 30 ක මුදලක් පෙත්සම්කරුට ගෙවන ලෙසද මෙම සිද්ධිය පිළිබඳ වගකිව යුතු රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ජානක මාරසිංහ මහතා රුපියල් 75,000 ක වන්දි මුදලක් ගෙවන ලෙසද උප පොලිස් පරීක්ෂක ඒ.එස්. සුදසිංහ සහ පොලිස් කොස්තාපල් එච්.පී.පී. ප්‍රියදර්ශන මහත්වරුන් රුපියල් 25000 ක් බැගින් ගෙවන ලෙසද නියෝග කෙරිණ. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ සේනානි දයාරත්න මහතා පෙනී සිටියේය.
 රන්ජන් කටුගම්පොළ