flood-warning

නිරිතදිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් බස්නාහිර, හා දකුණු පළාතට අයත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්, සබරගමුව සහ මධ්‍යම පළාත්වලටත් ඇදහැලෙන වැසි තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන ගංගා ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

අත්තනගලු ඔය, කැලණි ගඟ, කළු ගඟ, නිල්වලා, ගිං සහ කළු ගඟ ආශ්‍රිත කුඩා ගංද්‍රෝණියේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානම් තත්ත්වයක් පවතින බැවින් මෙම ගංගාවල ගංවතුර තර්ජනයට ලක්වන ප්‍රදේශවල පදිංචි ජනතාව සැලකිලිමත් වීම වැදගත් බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) එස්.පී.සී. සුගීෂ්වර පැවසීය.



කළු ගඟට අයත් කුඩා ගග උපද්‍රෝණියේ ඉහළ පිහිටා තිබෙන කුකු‍ළේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇතැයිද ඔහු කීවේය. මේ නිසා බුලත්සිංහල ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුර තත්වයක් ඇතිවීමේ අවදානමක් පවතී.

බුලත්සිංහල-මෝල්කාව මාර්ගය, පරගොඩ-මෝල්කාව, ඉහළ වෙල්ගම-බුලත්සිංහල, ඉහළ වෙල්ගම-පරගොඩ මාර්ගය සහ ඉහළ වෙල්ගම-ලත්පදුර මාර්ග ගංවතුරට යටවීමේ අවදානමක් පවතින බවද අධ්‍යක්ෂකවරයා කීවේය.

ගංගාවල ඔරු පැදීම, බෝට්ටු පැදීම, පිහිනීම සිදු නොකරන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.



එමෙන්ම ගිං ග​ඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් වැලිවිටිය-දිවිතුර, බද්දේගම, නියාගම, නෙළුව, තවලම, අක්මීමන, නාගොඩ, ඇල්පිටිය සහ බෝපේ පෝද්දල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්වල පදිංචි ජනතාව ගංවතුර තත්වය පිළිබඳව සැලකිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඊයේ (28 වැනිදා) නිවේදනයක්ද නිකුත් කරන ලදී.

දැනට පවතින වැසි තත්ත්වය ලබන මස මුල් සතිය තෙක් පවතින බවත්, ඊට පසුද වරින් වර වැසි පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසීය.

එමෙන්ම අද (29 වැනිදා) දිනයේදී වැසි තත්ත්වයේ සුළු අඩුවීමක් විය හැකි බවද ඔහු කීවේය.

අද දිනයේදී බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ යන පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.



ඊයේ (28 වැනිදා) පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළදී දිවයිනේ වැඩිම වර්ෂාපතනය රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ගුරුළුවාන ප්‍රදේශයෙන් වාර්තා විය. එම ප්‍රදේශයට මිලි මීටර් 152 ක වර්ෂාපතන තත්වයක් ලැබී තිබිණි.

කෙසේ නමුත් වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ සහ බෝවතැන්න යන මහවැලි ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලින් වර්ෂාපතන තත්වයක් වාර්තා නොවීය.

ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ අතුරින් වැඩිම වර්ෂාපතනයක් වාර්තා වූයේ නෝටන් ප්‍රදේශයෙනි. එම ප්‍රදේශයෙන් මීටර් 61 ක වර්ෂාපතන තත්ත්වයක් වාර්තා විය.

සාලිය කුමාර ගුණසේකර