fonseka-maithri

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරුවන් දෙදෙනෙක් සිටින අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා එම මහ මොළකරුවන් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

පාස්කු ප්‍රහාරය සහ ජාතික ආරක්‍ෂාව ගැන ඊයේ (21දා) පාර්ලිමේන්තුවේ පැවති සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

සරත් ෆොන්සේකා මහතා කරනු ලබන චෝදනා සියල්ල අසත්‍ය බව ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිසේන මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා -  පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම ගැන කතා කරන කොට සමහරුන්ගේ ඇගේ මවිල් කෙළින් වෙනවා. නිදාගෙන වගේ හිටියට කන් දෙක හොඳට ඇරගෙන මේවා අහගෙන ඉන්නවා මේවාට වගකියන්න ඕන මිනිස්සු. නිලන්ත ජයවර්ධනට අප්‍රේල් 04, අප්‍රේල් 20 සහ අප්‍රේල් 21 මෙයාට අවශ්‍ය තොරතුරු ලැබුණා ඉන්දියාවේ බුද්ධි අංශවලින් මේ ප්‍රහාරය සිදුවෙනවා කියලා. නිලන්ත ජයවර්ධන දිනකට දෙතුන් වතාවක් එවකට හිටපු ජනාධිපති, ආරක්‍ෂක ඇමතිට එක්කෝ දුරකථනයෙන් කතා කරනවා.

එහෙම නැතිනම් ඔහු හමුවෙනවා. ඒක පාර්ලිමේන්තු කාරක සභාවේදීත් මේක පිළිගත්තා. පාස්කු ප්‍රහාරයට දින 4කට කලින් ඒ ජනාධිපති ඉන්දියාවට යන්න පිටත් වුණා. ඒ අවස්ථාවේදී නිලන්ත ජයවර්ධනට ඒ ජනාධිපති හමුවෙලා තියෙනවා. මෙච්චර භායානක තොරතුරක් ලැබිලා මේ පුද්ගලයා ජනාධිපති, ආරක්‍ෂක ඇමති දැනුවත් කළේ නැතිනම් අනිවාර්යයෙන් නිලන්ත ජයවර්ධනට දරුණු අන්දමින් දඬුවම් කරන්න ඕන නීත්‍යනුකූලව. එහෙම දැනුවත් කළා නම් ඒ ජනාධිපති වගකීම භාර ගන්න ඕන. එවකටහිටපු ජනාධිපති මේ කාලපරිච්ඡේදයේ හැසිරුණු ආකාරය අනුව අපට  තමුන්නාන්සේලාට තේරුම් ගන්න පුළුවන් මේ පාස්කු ප්‍රහාරයේ සිදුවීමට මේ හැසිරීම යම් ආකාරයකට බලපෑවද කියලා. මොහු ඉන්දියාවේ ඉන්න කාලයේ මට 1000%ක් විශ්වාසයි අනිවාර්යයෙන්ම සලේ හමුවෙන්න ඇති.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන -   සලේ හිටියේ කොහේද? තිරුපති තියෙන්නේ කොහේද? මම තිරුපති ගිහින් තියෙනවා ඕන තරම්, සලේ මට හමුවෙලත් නෑ. ඉන්දියාවේදී මම සලේ ඉන්න තැනක් දැනගෙන හිටියේත් නෑ. මේ පට්ටපල් බොරු කියන්නේ. මෙයා හමුදාපති ලෙස ඉන්නකොට මෙයාගේ හමුදා කඳවුරට ගැහුවා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා -  මේ පිස්සා හැමදාම මේ කතාව කියනවා. මේ පුද්ගලයා හිතන් ඉන්නේ යුද හමුදා මූලස්ථානයයි, යුද හමුදාපතියි කියන්නේ ආරක්‍ෂක මුරය භාරව ඉන්නේ කියලා. දැන් වල්ගේ පෑගිලා කෑගහනවා. මේ ඉන්නේ මහමොළකාරයා අනිවාර්යයෙන්ම මහ මොළකාරයා. මෙයාට මගේ කටින් වචන එළියට ගන්න ඕන වුණා. අනිවාර්යයෙන්ම මහ මොළකරුවන් දෙන්නගෙන්  එක්කෙනෙක් ගෝඨාභය. අනිත් කෙනා මෙයා. සලේ කියන්නේ මැදපෙළ මිනිහෙක් පමණයි.

මෙයා සිංගප්පූරුවේ ඉද්දි එහේ වෙලාවෙන් 12ට බෝම්බේ පිපිරුවේ. එහෙන් 3ට ආවා ශ්‍රී ලංකන් ගුවන් යානයක්, 09ට ආවා ගුවන්යානයක් ඒකේ ආවෙත් නෑ. හෝටලයේ ඇඳ යට හිටියේ, ජනාධිපති වෙලත් රටට බොරු කිව්වා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන -   මෙයා පට්ටපල් බොරු කිව්වේ. මෙයා හමුදාපති කාලයේ 1000-1500 එක පාර අපේ කොල්ලෝ මැරුණා. ඒවා ගැන කතා නෑ මුකුත්. හමුදා මූලස්ථානය රැකගන්න බැරි හමුදාපති බඩවැල් එළියට එන්න බෝම්බ වැදිලා, බඩවැල් ගෙනිච්චේ එක වාහනයක. මෙයාව ගෙනිච්චේ තව වාහනයක, මෙයා ජාතික ආරක්‍ෂාව ගැන කතා කරනවා. පාර්ලිමේන්තු තේම් කාරක සභාව ඒක පාක්‍ෂික දේශපාලනික තේරීම් කාරක සභාවක්.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා -  මම හමුදාපති කාලයේ 5,200ක් හමුදා සෙබළුන් ජීවිතක්‍ෂයට පත් වුණා. ඒ කැප කිරීම් කළේ වීරයෝ වගේ යුද පිටියට ගිහින්. ඒ කැප කිරීමෙන් තමයි ත්‍රස්තවාදීන් 25,000ක් ඝාතනය කරලා යුද්ධය ජයග්‍රහණය කළේ, මගේ බඩවැල් එළියට ආපු එක ගැන කිව්වා. ඒක කියද්දි එහා පැත්තේ ඉඳලත් සමහර ඒ ජාතියේ අය හිනා වුණා. කොබ්බැකඩුවලා, ජානක පෙරේරලා රණවිරුවෝ ලෙස මැරෙනකොටත් මේ වගේ ජනාධිපති කෙනෙක් හිටියා නම්, උඩ පැන පැන හිනා වෙයි. ඒකෙන්ම පේනවා කොතරම් නිවට පුද්ගලයෙක්ද කියලා.
- දිනේෂ් සමරකෝන්