මත්කුඩු ජාවාරමේ නිරත ප්‍රබල පාතාල කල්ලි නායකයෙක් මෙන්ම කොන්ත්‍රාත් මිනිස් ඝාතකයෙක්ද වන මාකිලන්ගමුවේ සංජීව හෙවත් ‘ගණේමුල්ලේ සංජීව‘වෙනත් පුද්ගල නමකින් සකස් කළ විදෙස් ගමන් බලපත්‍රයකින් මෙරටට පැමිණෙන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ඊයේ (13) අත්අඩංගුවට ගත්තේය. ඔහු මෙරටට පැමිණ ඇත්තේ නේපාලයේ කත්මන්ඩු නුවර සිට මෙරටට පැමිණි යූ.එල්.182 දරන ගුවන් යානාවෙනි. කත්මන්ඩු නුවරින් ඊයේ දහවල් 12.50 පමණ මෙම ගුවන් යානය ගුවන්ගතව ඇත.
මාකිලංගමුවේ සංජීව පෙනී සිට ඇත්තේ සේනාධීරගේ කරුණාරත්න නමිනි. එම විදෙස් ගමන් බලපත්‍රය ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර ඇත්තේ 2022 වසරේ ජනවාරි 10 වෙනිදාය. එම විදෙස්ගමන් බලපත්‍රයට අනුව ඔහු නේපාලයට ඇතුළු වී ඇත්තේ පසුගිය අගෝස්තු 24 වෙනිදා සංචාරකයෙක් ලෙස දින 30ක වීසා බලපත්‍රයක් මගිනි. ඔහු නේපාලයට ඇතුළුවී ඇත්තේ ඉන්දියාවේ සිටය.
මාකිලංගමුවේ සංජීව සහ ගොත අසංක යන පාතාල අපරාධකරුවන් දෙදෙනාව නේපාල සීමාවට ආසන්න ප්‍රදේශයකදී මෙයට සති කිහිපයකට පෙර ඉන්දියානු ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වූ බවට තොරතුරක්ද තිබුණි. මත්කුඩු ජාවාරමේ නිරත ප්‍රබලයෙක් වන මොහොමඩ් සිද්ධික්ව ඉන්දියානු ආරක්ෂක අංශ මෙහෙයුමකට අනුව ඕමානයේදී අත්අඩංගුවට ගනු ලබන්නේ මාකිලංගමුවේ සංජීවගේ තොරතුරු මත බවද කියැවිනි. ඒ හැරුණු කොට සංජීව ඉන්දියානු අත්අඩංගුවේ සිටින බවට නිල වශයෙන් කිසිදු තහවුරු කිරීමක් මෙරටට ලැබී තිබුණේ නැත. ඔහු නේපාලයේ කත්මන්ඩු නුවර සිට ඔහුගේ මුහුණ සහිත වෙනත් පුද්ගලයකුගේ තොරතුරු ඇතුළත් විදෙස් ගමන් බලපත්‍රයකින් මෙරටට පැමිණෙන්නේ එවන් තත්ත්වයක් හමුවේදීය.
මාකිලංගමුවේ සංජීව විටින් විට මෙරටට පැමිණ සිය ගෝලබාලයින්ව මෙහෙයවා යන බවට බුද්ධි අංශ වෙත තොරතුරු ද ලැබී තිබී ඇත. ඒ අනුව කළ රහස් මෙහෙයුමකට අනුව ඔහු පරිහරණය කරන විදෙස් ගමන් බලපත්‍රයේ තොරතුරු අනාවරණය කරගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මෙවර ඔහු පැමිණෙන විටදීම කොටුකර ගැනීමට හැකිවී තිබේ. ප්‍රශ්න කිරීමේදී ඔහු තමා සංජීව නොවන බව කියමින් ආගමන විගමන නිලධාරීන්ව මඟ හැර යාමටද දැඩි උත්සහයක නිරතව සිට ඇත. ඔහු පෙනී සිට ඇත්තේ දඹදිව වන්දනාවේ ගිය පුද්ගලයෙක් ලෙසිනි.
එහෙත් එම ප්‍රශ්න කිරීමට රාජ්‍ය බුද්ධි සේවයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකවල නිලධාරීන් සම්බන්ධ වීමත් සමඟ ඔහුට ගැලවිල්ලක් ලැබී නැත.
පැය කිහිපයක ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔහු මාකිලංගමුවේ සංජීවම බව තහවුරුකර ගැනීමෙන් අනතුරුව ඔහුව විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදීමට තීරණය වී තිබුණි. කොළඹ අපරාධ කොට්ඨාසයේ කණ්ඩායමක්ද ඊයේ රාත්‍රිය වන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගොස් තිබුණි. මාකිලංගමුවේ සංජීවගේ නම ඉදිරියේ ලියැවී ඇති ඝාතන ගණන තිහ හතලිහකට වැඩි බවත් අනාවරණය නොවූ ඝාතන ගොන්නක්ම ඔහුගෙන් හෙළිකර ගැනීමට ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. එල්.ටී.ටී.ඊයේ හිටපු වෙඩික්කරුවන් සමඟ ද සමීප සම්බන්ධකම් පැවැති ඔහු එම වෙඩික්කරුවන් මගින් ඝාතන කිහිපයක්ද මෙහෙයවා තිබුණි.
උතුරේ වළදමා තිබුණු එල්.ටී.ටී.ඊ.ය සතු ගිනි අවි පාතාලයට අලෙවි කිරීමේ ජාවාරමකද නිරත ව සිටි මාකිලංගමුවේ සංජීව දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා ඝාතන තැතක් සම්බන්ධයෙන්ද වරක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් රාජ්‍ය බුද්ධි සේවය සමඟ කළ මෙහෙයුමකට අනුව අත්අඩංගුවට ගෙන තිබුණි. මෑතකදී කොළඹ හා ඒ අවට සිදුවූ ඝාතන රැසකටම වගකිව යුතු පුද්ගලයා වූයේද මාකිලංගමුවේ සංජීවයි.
කොළඹ අපරාධ කොට්ඨාසය මගින් 2019 වසරේදී අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි මාකිලංගමුවේ සංජීව කොරෝනා ව්‍යාප්තිය පැවැති සමයේදී බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස ලැබීමෙන් අනතුරුව ඉන්දියාවට පැන්නේ යැයි කියැවුනේ බෝට්ටුවක නැඟීය. අධිකරණයෙන් ඇප ලැබීමෙන් පසු ආරක්ෂක අංශවලින් බේරී ඔහුව පන්නන්නේ යැයි කියැවෙන්නේ නීතීඥවරුන් පිරිසක් විසිනි.
ගයාන් කුමර වීරසිංහ - කටුනායක ටී.කේ.ජී. කපිල
0 Comments