hansani-story

සෞදි අරාබීයෙහි ගෘහ සේවයට ඉකුත් ජනවාරි මස ගොස්, අගෝස්තු 21 වැනිදා සිට තොරතුරක් නොමැතිව සිටි වැලිගම එළුවාවල, 33 හැවිරිදි හංසනී දිල්රුක්ෂි විදේශ කාරියාංශයේ මැදිහත් වීම මත පෙරේදා (19 වැනිදා) දිවයිනට පැමිණියාය.

පවුලේ අගහිඟකම් හේතුවෙන් ඉකුත් ජනවාරි මස 18 වැනිදා සෞදි අරාබියෙහි ගෘහ සේවයට ගොස්, අසනීප තත්ත්වයෙන් සිටි බිරිඳ පිළිබඳව අගෝස්තු 21 වැනිදා සිට තොරතුරක් නොමැති බවත් පුංචි දියණියන්  දෙදෙනාගේ අනාගතය වෙනුවෙන් තම බිරිඳ ලංකාවට ගෙන්වා ගැනීමට මැදිහත් වන ලෙස ඔහුගේ සැමියා වූ සජිත් කුමාර මාධ්‍ය මගින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.



සජිත් කුමාර තම බිරිඳ වන හංසනී දිල්රුක්ෂි පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කළ පැමිණිල්ලකට අනුව මෙම සිදුවීම පිළිබඳව මාධ්‍ය ඔස්සේ පුවත් වාර්තා වීමෙන් අනතුරුව, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ අවධානය යොමු වී, තමන් ආපසු මෙරටට රැගෙන ඒමට කටයුතු කළ බව හංසනී දිල්රුක්ෂි පවසයි.

අහස උසට බලාපොරොත්තු තබාගෙන විදේශගත වූ හංසනී දිල්රුක්ෂි ඒ අනුව පෙරේදා (19 වැනිදා) ලංකාවට පැමිණ, තම නිවෙසට පැමිණෙන්නේ හැඬු කඳුළින් යුතුව, ඇඳි වත පමණක් ඇතිවය.

කෙසේ වෙතත්, ඇය සෞදි අරාබියේදී මුහුණ දුන් කම්කටොලු පිළිබඳව සිය නිවෙසේදී මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ පැවැසුවාය.



“මා විදෙස්ගත වූ විදේශ රැකියා ආයතනය හරහා සෞදි අරාබියේ ගෘහ සේවයට ගිය තවත් කාන්තාවන් දස දෙනකු පමණ එරට ගොඩනැගිල්ලක සිර කරගෙන සිටිනවා. එහි පවතින හිංසාකාරී තත්ත්වයන් දරා ගැනීමට බැරිව එක් කාන්තාවක් මානසික ආබාධයකට පවා ලක්ව සිටිනවා. ඔවුන් ගැන තොරතුරු කිසිවකුට  දැනගැනීමට නොහැකියි."

ඔවුන් ඉල්ලා සිට ඇත්තේ හංසනී දිල්රුක්ෂි ලංකාවට ගිය විගස හිංසනයට පත්ව සිටින පිරිසගේ ඥාතීන් සහ බලධාරීන් දැනුවත් කර, ඔවුන් ද ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසයි.

ඒ පිළිබඳ ඇතැම් තොරතුරු තමා දන්නා බව ද ඇය කියයි.

පවුලේ ආර්ථික අර්බුද හමුවේ සිය සිහින සැබෑ කරගැනීමට විදේශගත වූ හංසනීට එරටදී මුහුණ දිමට සිදු වූ අනපේක්ෂිත සිදුවීම හමුවේ ඇඳි වත පමණක් උරුම කරගෙන තම නිවෙසට පැමිණෙද්දී වෘත්තියෙන් පෙදරේරුවකු ලෙස කටයුතු කළ ඇයගේ සැමියා වන සජිත් කුමාර පසුගිය 4 වැනිදා කිඹුල් ප්‍රහාරයකට ලක්ව, බරපතළ තුවාල ලබා, එක් තැන් වූයේ, මුළු පවුලම තවත් අසරණ තත්ත්වයට පත් වෙමිනි.

ඔවුන්ගේ වැඩිමහල් දියණිය බිනුෂි නටාෂාට වයස 5යි.

ඇය පෙරපාසල් යන අතර, ඇයගේ නැගණිය යෙහන්සා මනුකිට වයස 3යි. සැමියාට කිඹුල් ප්‍රහාරය හේතුවෙන් ඇති වූ තුවාලවලට බෙහෙත් දැමීම සඳහා විශාල මුදලක් වැය වන බවත්, තමන්ට කොළඹ සිට වැලිගම නිවෙසට පැමිණීමට මුදල් දුන්නේ ද විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් බවත්, හංසනී කියයි. එවැනි පසුබිමක් තුළ තම පවුලට උදව් උපකාර බලාපොරොත්තු වන බව ද ඇය කීවාය.

-කඹුරුගමුව - තරංග ගුණරත්න