hanwella-cargills-food-city-girl

බොරැල්ලේ පිහිටි (හංවැල්ල නොවේ) කාගිල්ස් ෆූඩ් සිටි සුපිරි වෙළදසැල් කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් පාරිභෝගික කාන්තාවකට අමානුෂික ලෙස පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ ඊයේ සංසරණය විය.
හොරකමක් සම්බන්ධ සැකයක් මත මෙම පහරදීම සිදුකර ඇතැයි වාර්තාවන අතර කාන්තාවට වෙළෙඳසලින් පිටතට යන්නට නොහැකි ලෙස දොර වසා දමා කළමනාකාරියක හා සේවකයින් කිහිපදෙනෙකු එක්ව මෙම පහරදීම හා බැණ වැදීම් සිදුකරන අයුරු වීඩියෝ වාර්තාවේ දැක්වේ. මොවුන් ඇයට පහර දෙනු ලබන්නේ විටෙක කෙස් වැටියෙන් ඇදගෙනය විටෙක බිම දමාගෙනය. ඇය ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරන්නටද උත්සාහ කරන අතර පහරදුන් කළමනාකාරිනියම ඇයට පහරදෙන ඇතැම් පිරිමි සේවකයින් ඉවතට ගන්න හදන අයුරුද පසුව පෙන්නුම් කෙරේ. වීඩියෝවේ ඉතිරි කොටසේ හැටියට ඇය සිය ආරක්ෂාව තකා ඇගේ උඩුකය ‘බ්ලවුස්‘ ඇඳුම ඉවත්කරගන්නා අතර ‘බ්‍රෙෂියර‘යෙන් හා ‘ඩෙනිම්‘ කලිසමෙන් සිටී. ඇගේ ඇඳුම් උනාදැමීමෙන් පසු ඇය අසළට පැමිණ පහරදීම් අඩුවූ බවක් වීඩියෝවේ අග කොටසේ සටහන් වේ.

 කාගිල්ස් අලෙවිසැලේ ඇතිවූ සිදුවීම ගැන කණගාටුව පළකරමින් කාගිල්ස් ෆුඩ් සිටි ආයතනය මගින් නිල නිවේදනයක්ද නිකුත් කර තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් කාගිල්ස් කළමනාකාරීත්වය නිකුත් කළ ඉංග්‍රීසි නිවේදනය සිංහල අරුථ මෙසේය.

“2023 සැප්තැම්බර් 22
හිතවත් වටිනා ගනුදෙනුකරුවන් සහ පාර්ශවකරුවන් වෙතයි,
සාප්පු සොරකම් කිරීමක් සම්බන්ධ අපගේ එක් අලෙවිසැලක සිදු වූ අවාසනාවන්ත සිදුවීමක් ගැන කතා කිරීමට අපි කැමැත්තෙමු.
මෙම හැසිරීම සමාගම විසින් කාගිල්ස් හි වටිනාකම සහ ක්‍රියාවලිය සමඟ කිසිඳු ආකාරයකින් නොගැලපෙන්නකි. එබැවින් එකී කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ හැසිරීම පිළිබඳව අපි කම්පනයට හා ලැජ්ජාවට පත් වෙමු.
අදාළ සේවකයින්ගේ සේවය අත්හිටුවා පරීක්ෂණ ආරම්භ කිරීමට අපි කටයුතු කර තිබෙන අතර වගකිවයුත්තන්ට එරෙහිව අපි දැඩි පියවර ගනු ලබන්නෙමු.
Cargills Food City වෙත අපගේ පාරිභෝගිකයන් දක්වන අඛණ්ඩ සහයෝගයට සහ විශ්වාසයට ස්තූති කිරීමට මෙය අවස්ථාවක් කර ගැනීමට අවශ්‍යයි. ගුණාත්මක නිෂ්පාදන සහ සේවා සැපයීම සඳහා අපගේ කැපවීම නොවෙනස්ව පවතී.
ඔබගේ අවබෝධය සහ අඛණ්ඩ සහයෝගය සඳහා ස්තූතියි.
කළමනාකාරීත්වය - කාගිල්ස් “

 සිද්ධිය පිළිබඳව පොලිස් මූලස්ථානයට පැමිණිලි කරන සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංමයේ සභාපති අසේල සම්පත් මහතා නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් මෙම සිද්ධිය පිළිබඳව වහාම පරීක්ෂණ ආරම්භ කළ යුතු යුතු බව පවසා තිබේ.

මෙම වීඩියෝව සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමත් සමඟ බොහෝ පිරිස් අදාළ සුපිරි වෙළඳසැල් ජාලය වර්ජන කරන බව පවසමින් සමාජ මාධ්‍ය තුළ සටහන් එක් කර තිබෙන අයුරු ද වාර්තා විය.මේ ආකාරයේම වීඩියෝවක් මින් ඉහත ආර්ඒද මැල් මාවත හවුස් ඔෆ් ෆැෂන් ආයතනයෙන්ද වාර්තා වූ අතර පාරිභෝගිකයින්ගේ අප්‍රසාදයට ලක් විය.
 කාගීල්ස් නිවේදනය වීඩියෝවෙන් ලබාගත් ඡායාරූප හා වීඩියෝව පහතින්