harak-kata-cid-break-attempt

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා” නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පන්නාගෙන යෑමට සැලසුම් කළ බව කියන සැකකාර පොලිස් කොස්තාපල්ගේ මව දින 30ක රැඳවුම් කාලයක් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසාන් අමරසිංහ මහතා එම කොට්ඨාසයට ඊයේ (20) අවසර දුන්නේය.



ඒ අනුව මෙලෙස රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දුන්නේ සේරුනුවර, ත්‍රිකුණාමලය පදිංචි හතළිස් අට හැවිරිදි රංජනී චන්ද්‍රලතා නමැත්තියයි.

සැකකාරිය මෙම අපරාධය සම්බන්ධයෙන් දැනුවත්ව සිට තොරතුරු වසන් කළ බැවින් ඇයගෙන් ප්‍රශ්න කිරීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් රැඳවුම් නියෝගයක් ලබාගත් බව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව මසක කාලයක් තම කොට්ඨාසයේ රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දෙන ලෙස ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා අවසරය දුන්නේය.

එම සැකකාර කාන්තාවට ඔහුගේ පුත්‍රයා (මේ වනවිට අතුරුදන්ව සිටින මෙම සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුවකු වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ පොලිස් කොස්තාපල් (97402) මුනිපාලගේ රවිදු සංදීප ගුණසේකර) රුපියල් ලක්ෂ 19ක මුදලක් මෙන්ම ජංගම දුරකතන, ලැප්ටොප් පරිගණක ආදිය ලබා දී තිබූ බව ද ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

සිද්ධිය වූ දින සැකකාර කොස්තාපල්වරයාත්, ඔහුගේ පෙම්වතිය වන පොලිස් කොස්තාපල්වරියත්, ඔහුගේ මස්සිනාත්, අම්මාත් අතර දුරකතන සංවාද කිහිපයක් හුවමාරු වී ඇති බවට දුරකතන විශ්ලේෂණ දත්ත වාර්තා මගින් තහවුරු වී ඇතැයි ද ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සැකකරු සිය මස්සිනාට දුරකතනයෙන් කතා කර ඔහුගේ සැප දුක් අම්මාට දැනගන්නට සලස්වා ඇති බවත්, එම දුරකතන දත්ත වාර්තා අනුව මෙම සැකකාර කොස්තාපල් තවමත් මෙරට රැඳී සිටින බවට තොරතුරු හෙළි වී ඇති බවත් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකාර කොස්තාපල් සිය පෙම්වතිය දුන් බව කියමින් හරක් කටාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ට ලබා දී ඇති විෂ සහිත රසායනික ද්‍රව්‍යයක් මුසු කර තිබූ බව කියන කිරි ටොෆි සහ කිරි තේවල සාම්පල් රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවූ බවත්, එහි වාර්තා මෙතෙක් ලැබී නොමැති බවත් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.



වන විට සැකකාර කොස්තාපල්ගේ මස්සිනා වන සේරුනුවර ත්‍රිකුණාමලය පදිංචි වන්නිආරච්චිගේ අමිල සංජීව නමැත්තා කොට්ඨාසයේ දින 90ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ඉකුත් දින අධිකරණයෙන් අවසර ලබාගත් බව ද ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කළේය.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන නදුන් චින්තක අමරසිංහ නොහොත් ‘හරක් කටා’ සහ සළිඳු මල්ෂක ගුණරත්න නොහොත් ‛පානදුරේ කුඩු සළිඳු' යන සැකකරුවන් දෙදෙනා මැඩගස්කර ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූවේ ඉකුත් ජනවාරි මස 01 වැනිදාය.
-   නිමන්ති රණසිංහ