hrak-kata-cid

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සිටි සහකාර පොලිස් අධිකාරීවරයෙකු (ASP) පොලිස්පතිවරයා විසින් වහාම ස්ථාන මාරු කර ඇති බව වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාගේ අසාර්ථක උත්සාහයට ඔහු ආධාර අනුබල දී ඇතැයි යන සැකය මත මෙම තීරණය ගෙන ඇති බව පොලිස් මූලස්ථානයට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින සැකකරුවන් හමුවීමට රාත්‍රී ගිය සහකාර පොලිස් අධිකාරීවරයා අවස්ථා කිහිපයකදී හරක් කටාගේ සිද්ධියට අදාළ කරුණු සාකච්ඡා කර ඇති බව අනාවරණය විය.

'හරක් කටා' සිද්ධියට අදාළ නඩුව තමාට භාර දෙන ලෙස ඉහත කී සහකාර පොලිස් අධිකාරීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවද වාර්තා වේ.

මෙම හේතුන් මත සහකාර පොලිස් අධිකාරීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මාරුකර යවා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මීට අමතරව ආරක්‍ෂකයන්ට වෙඩිතබා අත්අඩංගුවෙන් මිදී පලායෑමේ සැලසුමට හරක්කටාට උපකාර කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කොස්තාපල්වරයා තවම අතුරුදන්ව සිටී.

 ඔහු එසේ කර ඇත්තේ ඔහු සමග ඩුබායි රාජ්‍යට පැනගොස් සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමේ අරමුණෙන් බව විමර්ශනවලින් හෙළිවී ඇත.



ආරක්‍ෂකයන්ට වෙඩි තබා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණීමෙන් පසු හරක් කටා සහ කොස්තාපල්වරයා ආරක්‍ෂිතව රැගෙන යෑමට පාතාල සාමාජිකයන් පිරිසක් සුඛෝපභෝගී වාහනයකින් එම දෙපාර්තමේන්තු මූලස්ථානය ඉදිරිපිට රැඳී සිට ඇති බව ද මේ වනවිට අනාවරණය වී තිබේ.



අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පලායෑමේ සැලසුමට සහ තමාට කළ සෑම උපකාරයක් වෙනුවෙන්ම හරක්කටා මෙම කොස්තාපල්වරයාට වරින් වර රුපියල් කෝටියකට අධික මුදලක් ලබාදී ඇති බවද මේ වනවිට හෙළිවී ඇත.

සැකකාර කොස්තාපල්වරයා මේ වනවිට අතුරුදන්ව ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් හතරක් විමර්ශන ආරම්භ කර තිබේ.