jaffna-deers

යාපනය නල්ලූර් ප්‍රදේශයේ නිවෙසක ඇති කළ මුවන් තිදෙනකු අඩවි වන නිලධාරීන් බාරයට ගෙන නිර්වින්දනය කිරීම සඳහා ලබාදුන් එන්නතකින් පසු තිදෙනාම පෙරේදා (12) මියගොස් ඇති බවට වනජීවී කාර්යාල ආරංචිමාර්ග කියයි.මුවන් තිදෙනකු යාපනය නල්ලූර් ප්‍රදේශයේ නිවසක නීති විරෝධීව ඇති කරන බවට ලැබුණු තොරතුරක් මත

කිලිනොච්චිය අඩවි වන නිලධාරීන් මෙම වැටලීම කර ඇත.එම සතුන් ඇති කළ බව කියන පුද්ගලයා ද සමග මෙම සතුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.පසුව එම සතුන් රැගෙන යාමට නිර්වින්දනය සඳහා එන්නතක් ලබාදී ඇති අතර, එන්නත දුන් එක් මුවකු එම ස්ථානයේදීම මියගොස් ඇත. අනෙක් සතුන් දෙදෙනා වනජීවී නිලධාරීන් බාරයේ සිටියදී මියගොස් ඇත.

මේ සම්බන්ධයෙන් කිලිනොච්චිය වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඩී.එම්.ඒ. වික්‍රමසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඔහු කීවේ, මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවයි. මෙම සතුන් නිර්වින්දනය කළ බව කියන උතුරු පළාත භාර වනජීවී පශු වෛද්‍ය නාලනී සුගාකරන් මහතාගෙන් කළ විමසීමකදී කීවේ,

“ඇයි මට උදෙන්ම කතා කරන්නේ, අපි වැඩට යන්නේ නැද්ද, මගේ දුරකතන අංකය සොයාගත්තේ කොහොමද?" යනුවෙනි.නිර්වින්දනය කළ මුවන් තිදෙනකු මියගොස් ඇති බව දැනගන්න ලැබුණා. ඒ සම්බන්ධයෙන් දැනගන්නැයි කතා කළේ යැයි අප පැවසූ විට දුරකතනය විසන්ධි කළේය.

 වසන්ත චන්ද්‍රපාල