janaka-rathnayake

ඉන්ධන ලීටරයක් රු. 250ක මුදලට ලබාදිය හැකි බවට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව පොදු ව්‍යාපාර කරක සභාවේදී (කෝප්) අනාවරණය විය.

ඒ අනුව ඉන්ධන ලීටරයක් රු. 250ක මුදලට ලබාදිය හැකි බවට හිටපු සභාපතිවරයා ඉදිරිපත් කළ දත්ත සහ ගණනය වැරදි බව විගණකාධිපතිවරයා විසින් මෙහිදී කරුණු පෙන්වා දෙන ලදි.



ආනයනය කරන ඛනිජ තෙල් රේගුවෙන් නිෂ්කාශනය කර ගැනීම සඳහා රේගුව වෙත ඉදිරිපත් කරන ලද තාවකාලික ඉන්වොයිසියක් මත පදනම්ව පිළියෙළ කළ පළමු රේගු සටහන්කරයෙහි (CUSDEC) පිරිවැය පමණක් සැලකිල්ලට ගනිමින් මෙම ගණනය කිරීම් හිටපු සභාපතිවරයා සිදුකර ඇති බව විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය.



මෙවන් තත්ත්වයක් තුළ සමස්ත ජනතාවම නොමග යවමින් හිටපු සභාපතිවරයා සිදුකළ ප්‍රකාශය වර්තමානයේ සම්පූර්ණ අසත්‍යයක් බවට පත්ව ඇති බවත්, මෙවැනි නිලධාරීන් සම්බන්ධව ක්‍රියාමාර්ග ගත යුතු බවත් කමිටු සාමාජිකයෝ මෙහිදී පෙන්වා දුන්හ.

ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාද වගකීම් විරහිතව කටයුතු කර ඇති බව පෙන්වාදුන් කමිටු සභාපතිවරයා මේ සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කළේය.

ඒ අනුව මේ සම්බන්ධව පෙර ප්‍රකාශය වැරදි සහගත බව ප්‍රසිද්ධ නිවේදනයක් මගින් සති දෙකක් තුළ ජනතාවට දැන්විය යුතු බවත්, මේ සම්බන්ධ සියලු නිවැරදි දත්ත හා ගණනය කිරීම් සම්බන්ධ වාර්තාවක් කෝප් කමිටුවට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කරන ලදි.

එසේම මේ සම්බන්ධ විධිමත් පරීක්ෂණයක් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දිය යුතු බවටත් තීරණය කෙරිණ. ඉදිරියේදී මෙවැනි වගකීම් විරහිත කටයුතු නැවැත්වීම සඳහා පියවර ගත යුතු බව කමිටු සභාපතිවරයා අවධාරණය කළේය.



කෝප් සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර - ඉන්ධන රු. 250ට අඩු මිලට ලබා ගත හැකි බවට කොමිෂන් සභාවේ සභාපතිගේ අදහස සම්බන්ධයෙන් විගණකාධිපතිතුමා කරුණු විමසා තිබෙනවා. ඒකට වාර්තාවකුත් විගණකාධිපති දීලා තියෙනවා.

විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න - ඒ අවස්ථාවේ එවකට සිටිය සභාපතිතුමා ඉදිරිපත් කළ අදහසක් මේක. ඒ වෙලාවේ මෙය පක්ෂා කිරීමට නිර්දේශයක් ලබලා දුන්නා. තිබුණු තොරතුරු අනුව ගණනය කිරීමක් කරලා සභාවට ඉදිරිපත් කළා, ඒක පදනම් කරගෙන අපි පරීක්ෂා කළා. ඒ කියන කාරණාව සත්‍යයක්ද කියලා. එතුමා ගණනය කිරීමට අරන් තියෙන කස්සෙක් එක පදනම් කරගෙන. ඒ තොරතුරු ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක ඇතුළේ ප්‍රිමියම් එක ඇතුළත් වෙලා නෑ. ඊට අමතරව ඉන්ධන ප්‍රමාණයේ වෙනස ව්දියට ඒකේ 05%ක විතරක් වේරියන්ස් එක තියෙනවා. ඒ වගේම මෙහෙයුම් පිරිවැය සහ පරිපාලන පිරිවැය අඩංගු වෙලා නෑ. මේ සියල්ල අවසන් ඉන්වොයිස් එක ඉදිරිපත් වෙනකොට මීට වඩා මිල වැඩියි.

කෝප් කමිටු සාමාජික රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක - මේ කරුණුවලින් අපිට පේන්නේ හිටපු සභාපතිවරයා සම්පූර්ණයෙන් රටේ ජනතාව නොමග යවලා කියලා. මේ අනිත් වියදම් සියල්ල අඩු කරලා රටේ විශාල මතයක් හැදුවා තෙල් අඩු මිලට දෙන්න පුළුවන් කියලා. අද මේක සම්පූර්ණ බොරුවක් වෙලා තියෙනවා. මේ වගේ නිලධාරීන් වගකීමෙන් තොරව ප්‍රකාශ කිරීම් ගැන අපිට මොනවා හරි ක්‍රියාමාර්ගයක් ගන්න වෙයි.

දිනේෂ් සමරකෝන්