japan-susantha-bag

ගංගා, මුහුදේ මිනී පාවූ යුගයත් තිබුණේ එක්දහස් නවසිය අසූ අට අසූ නවය භීෂණ සමයේය. ඒ හමුදාවත් ජනතා විමුක්ති පෙරමුණත් තරගෙට මෙන් සිය ප්‍රතිවාදීන් ඝාතනය කළ නිසාය. වෙඩි තබා මරා මිනී ගංගාවල පාකර යැව්වේ හඳුනාගෙන සොයා ගැනීමට බැරි වන ලෙසය.
ඒ දවස මහවැලි, කැලණි, කළු, වලවේ ගංගාවල පමණක් නොව සීදුවේ දඬුගං ඔයේද මිනී පාවුණේය. කැලණි ගඟේ පාවූ මිනී ගැන එකල අපූරු කතාවක් තිබුණි. ඒ ගං ඉවුරේ මිනියක් රැඳුනොත් ගඟ ඉහළ ප්‍රදේශ අයිති පොලිසිවලින් මිනිය යළි ගඟ මැදට දමා පහළට පාකර යවන බවය.

ඒ මිනිය ගොඩගතහොත් එය කාගේ කවුදැයි පරික්ෂා කරන්නට සිදු වන නිසාය. ගඟ දිගේ පාවී එන මිනී අන්තිමට ගොඩගෙන පරික්ෂා කිරීමට සිද්ධ වූයේ කැලණි දෙපස ඇති පෑලියගොඩ පොලිසියටත් ග්‍රෑන්ඩ්පාස් පොලිසියටත් බව ඒ දවස කියැවුණි.

අසූ අට අසූ නවය මෙන් රට පුරාම භීෂණය නැති වුණත් දැන් රටේ තැනින් තැන ගංගා මෙන්ම මුහුදේ මිනී පාවෙන්නට පටන් ගෙන ඇත්තේය. ගාලු මුවදොර වෙරළට වරින්වර මිනී තුන හතරක් ගොඩ ගැසුවේය. අත්පා ගැට ගසා මරා දැමූ අයකුගේ සිරුරක් සොයා ගන්නේ රත්ගම කලපුවේ තිබියදීය.

ඒ අතරේ සීදුව හිදගොඩ, බෙල්ලාන වත්ත හරහා ගලා යන දඬුගං ඔයේ මළ සිරුරක් ඇති බව පොලිසියට තොරතුරු ලැබෙන්නේ ඉකුත් දාසය වැනිදාය.

ඇමතුම දුන් පුද්ගලයා මේ පණිවුඩය දෙන්නේ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයටය. එම අංශය මේ බව සීදුව පොලිසියට දැනුම් දුන්නේය.

සීදුව පොලිස් ස්තානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධනුෂ්ක බණ්ඩාර ඇතුළු නිලධාරීහු වහාම එම ස්ථානයට ගොස් බලන විට දුටුවේ මළ සිරුර ඇත්තේ ගමන් බෑගයක බවය. එම බෑගයේ විවෘත වූ තැනකින් අතක් එළියට පැන තිබුණි. පොලිසියට දුරකතන ඇමතුම දුන් පුද්ගලයා බෑගයේ මළ සිරුරක් ඇති බව දැනගෙන ඇත්තේ එම අත දැකය. මේ ගමන් බෑගයක මළ සිරුරක් තිබී හමු වූ මුල්ම අවස්ථාව නොවේ. පිටකොටුවේ දී ගමන් බෑගයක තිබී කතුන් දෙදෙනකුගේ මළ සිරුරු මින් පෙර හමුවිය. එම කතුන් දෙදෙනා මරා දමා තිබුණේ ඔවුන්ගේ පෙම්වතුන් විසිනි. සපුගස්කන්දේ කුණු ගොඩක තිබූ ගමන් බෑගයක තිබී කාන්තාවකගේ මළ සිරුරක් හමු වී තිබූ අතර ඇය ඝාතනය කර තිබුණේ මුදල් ගනුදෙනුවක් නිසාය. දැන් සීදූවේ ගමන් බෑගයක තිබී තවත් මළ සිරුරකි. මරණකරු කවුරුන්ද, ඔහු කවුරුන් විසින් ඝාතනය කර තිබේද? ඒ ඝාතනය වූයේ කෙසේද වග පොලිසියට පමණක් නොව එය බලා සිටි සැමටම ප්‍රශ්නයක් විය. මේ අනුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කළේ 16 වැනිදා හෝ ඊට දින කිහිපයකට පෙර අවට ප්‍රදේශවලින් අතුරුදහන් වී සිටින පුද්ගලයින් ගැන තොරතුරු සොයමිනි. මේ අනුව මාරවිල ප්‍රදේශයේ පුද්ගලයෙකු අතුරුදහන් වී තිබෙන බවත් ඔහු විදෙස් රැකියා උප නියෝජිතයකු ලෙස පෙනී සිටිමින් මුදල් ගනුදෙනු රැසක්ම කර තිබෙන බව හෙළි විය. මුදල් වංචාකිරීම හේතුවෙන් බොහෝ දෙනෙකු ඔහු සොයමින් සිටින බවත් පොලිසිය අනාවරණය කර ගත්තේය. ඔහු මාරවිල මහවැව පදිංචි සුසන්ත රන්ජන් නමැති 36 හැවිරිදි අයකු විය.

මේ අනුව පොලිසිය මහවැව ගම්මානයට ගියේ දඩුගං ඔයෙන් හමුවූ මළ සිරුර ඔහුගේද යන්න නිශ්චිතවම හඳුනාගැනීමටය. සුසන්තගේ මවගෙන් පොලිසිය අතුරුදන් වී ඇති පුතුගේ දේහ ලක්ෂණ විමසීය. එහිදී ඈ කීවේ පුතුගේ ගෙලේ තරු හයක් ඇති පච්චයක් කොටා ඇති බවය. ගමන් බෑගයේ තිබූ මළසිරුරේද එවැනි තරු හයක් තිබීම නිසා පොලිසිය ඇය සමග මීගමුව රෝහලට ගියේ සිරුර හඳුනා ගැනීමටය. සිරුර දුටු සැණින් එය තම පුතුගේ බව මව හඳුනා ගත්තාය.

‘‘ඝාතනයට ලක්වෙලා ඉන්නේ මගේ දෙවැනි පුතා. එයාගේ බෙල්ලේ තරු හයක පච්චයක් තියෙනවා. පුතාට වයස තිස්හයයි. විවාහ වෙලා නැහැ. එයා පිටරට රස්සාවලට මුදල් ගෙන පිරිස් යොමු කරනවා. පසුගිය කාලේ එම සල්ලි අරන් රට යවන්න බැරිවුණු සමහර අයගෙන් මරණ තර්ජනත් ආවා. සමහරු දුරකථන ඇමතුම් දුන්නා. සමහරු ගෙදරටම හොයාගෙන ආවා. පුතා අතුරුදන් වෙන්න දවස් දෙකකට කලිනුත් කිහිපදෙනෙක් ගෙදරට ඇවිත් ඔහුට මරණ තර්ජන කරලා ගියා’’ යැයි සුසන්තගේ මව පොලිසියට කීවාය.



දැන් මරණකරු කවුරුන්ද යන ප්‍රශ්නයෙන් නිදහස් වූ පොලිසියේ ඊළඟ ඉලක්කය වූයේ ඝාතකයින් කවුරුන්දැයි හඳුනැගැනීමය. ඒ සඳහා මවගේ සාක්ෂියෙන් හෝඩුවාවක් ලැබුණි. බැලූ බැල්මටම මෙය සුසන්තට සල්ලි දී රට යාමට බැරි වූ පිරිසකගේ වැඩක් බව පොලිසිය සැක කළේය. සුසන්තගේ පවුලේ අයගෙන්, මිතුරන්ගෙන් ලද තොරතුරු හා ප්‍රකාශ මත කටානේ ව්‍යාපාරික පවුලක් ගැන ලැබුණු තොරතුරු ගැන පොලිසිය අවධානය යොමු කළේය. එසේම විමර්ශනයේදී එක්තරා වෑන් රථයක් ගැනද පොලිසියට සැක පළවිය. ඒ වෑන් රථයේ අංකය ඔස්සේ විමර්ශනය කිරීමේදී හෙළිව තිබුණේ මෙම වෑන් රථය පොලිසිය සැක කරන කටානේ ව්‍යාපාරිකයකුට අයත් වූවක් බවය.

මේ අනුව පොලිසිය කටාන රුක්අත්තන හන්දියේ හෝටලයක් පවත්වාගෙන යන පනස් හැවිරිදි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු සොයා යන්නට විය. ඔහු කටාන දකුණු කදිරාන ප්‍රදේශයේ පදිංචි රණසිංහ මුදියන්සේලාගේ සමන්ත රුවන් නමැති සිව්දරු පියෙකි. එම සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී සූට්කේසයෙන් හමු වූ මළ සිරුරේ රහස හෙළි විය.

ඒ අනුව මේ ඝාතනයට අදාළව තවත් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ අතරින් දෙදෙනෙකු ව්‍යාපාරිකයාගේ වැඩිමල් හා දෙවැනි පුතුන්ය. අනෙක් තිදෙනා රුක්අත්තන ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයාගේ හෝටලයේ සේවකයින් ය.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ සමන්ත රුවන්ගේ පුතුන් දෙපළ වන පසිදු නිවර්ථන සහ මලිදු දේශාන්, අවන්හලේ සේවකයින් වන සේමසිංහ බණ්ඩාරනායකගේ කරුණානායක, කානියන් ගෙදර රුවන් කුමාර , කරුණානායකගේ චමත් කුමාර කොස්ගස්හේන යන පුද්ගලයින්‍් ය.

ප්‍රධාන සැකකරු වූ සමන්ත කටාන ප්‍රදේශයේ කාගේත් සිත් දිනාගත් ව්‍යාපාරිකයෙකි. සමන්ත දරුවන් හතර දෙනෙකුගේ පියෙකු වන අතර සමන්තගේ වැඩිමහල් පුතු පසිදුය. දෙවැන්නා මලිදුය. පිළිවෙළින් මේ අයිය මාලෝ දෙපළගේ වයස අවුරුදු 25 ක් සහ 23 ක්‍ ය. මොවුන් සිහින දැක්කේ හොඳ රටකට ගොස් රැකියා කිරීමය. මේ සිහිනයට මං විවර කර දෙන්නේ සුසන්තය.

සුසන්ත ජපානය ඇතුළු රටවල්වලට රැකියා සදහා යවන්න අයෙකු ලෙස ප්‍රචලිතව සිටියේය. මොහු ගැන රුක්අත්තන හෝටලයේ සමන්තට දැනගැනීමට හැකිව ඇත්තේ තම මිතුරෙකුගෙනි. සමන්තටද උවමනා වුණෙ තම පුතුන් දෙදෙනාගේ රට සිහිනය සැබෑ කිරීම නිසාම ඔහු සුසන්තට කතා කළේය.

සමන්තගේ පුතුන් දෙපළ ජපානයට යැවීමේ වගකීම බාර ගත් සුසන්ත පුතුන් දෙදෙනාම යැවීම සදහා රුපියල් ලක්ෂ 22 ක මුදලක් ඉල්ලුවේය. ඒ සඳහා සම්මුඛ පරීක්ෂණ කිහිපයක් ඇතැයිද කීවේය. මොහු කෙරෙහි විශ්වාසය තැබූ සමන්ත එම මුදල දුන්නේය.

එසේ මුදල් ගත් සුසන්ත මාස ගණනක්‍ යනතෙක් විවිධ බොරු කියා සමන්ත සහ පුතුන්ව රවටා තිබුණි. දුරකතනයට ප්‍රතිචාර නොදැක්වීය. මේ හේතුවෙන් සමන්ත සිටියේ සුසන්ත හා තරහිනි. තමන් රැවටීමට ලක්කර මාස ගණනක් කට්ටි පනිමින් සිටින සුසන්ත කොටුකර ගැනීමට සමන්තට අවැසි විය. තමාගේත් සුසන්‍තගේත් හිතවතකු සම්බන්ධ කරගත් සමන්ත පසුගිය 11 වැනිදා සුසන්ත කොළඹට ගෙන්වා ගත්තේය.

වෑන් රථයෙන් කොළඹට පැමිණි සමන්ත, පුතුන් දෙපළ ඇතුළු පිරිස කොටුව පාවෙන වෙ​ෙළද සංකීර්ණය අසලදී සුසන්ත වෑන් රථයට නංවා ගත්තේය.

අනතුරුව වෑන් රථය ගමන් කළේ සමන්තට අයත් කටාන අක්කර 50 ප්‍රදේශයේ පිහිටි පොල් වත්තකටය. එහිදී මුදල් ඉල්ලා සුසන්තට මේ පිරිස හොඳටම පහර දී තිබුණි. ගුටි කමින් සිටි සුසන්ත මිදී පලා යාමට උත්සහා ගත්‍තත් ඒ උත්සහාය ව්‍යර්ථ වන්නේ සමන්තට පහර දුන් පිරිස වටකර සිටීමත් නිසාය.

පොල්වත්තේදී පහරකෑමට ලක්ව සිටි සුසන්ත පසුව කටාන රුක්අත්තන පිහිටි තම හෝටලය වෙත ගෙන යන මෙම පිරිස එහිදීද යළිත් වරක් අතින් පයින් සහ පොලු මුගුරුවලින් පහර දී තිබිණි.

පහරකෑමෙන් බරපතළ තත්ත්වයේ සිටි සුසන්ත මෙදින රාත්‍රියේම ජීවිතක්ෂයට පත්විය. තම පහරදීම්වලින් ඝාතනය වූ සුසන්තගේ මළ සිරුර බැහැර කිරීමත් තමන් හසු නොවීමටත් සැලසුම් කළ මෙම පිරිස මළ සිරුර ගමන් බෑගයක දමා 12 වැනිදා අලුයම දඬුගං ඔයට ගෙන දමන්නේ සීදුව ප්‍රදේශයේම පාලමක සිටය. මළ සිරුර බහාලීම සඳහා උපයෝගි කර ගන්නේ පුතුන් ජපානයට යන දවසේ ඔවුන්ගේ ඇඳුම් රැගෙන යාමට සමන්ත මිලදී ගත් ගමන් බෑගයෙනි. අවසානයේදී ජපන් සිහිනය පෙන්වා මිනිසුන් මුලා කළ සුසන්තට සිද්ධ වූයේ අඩි හයක් පොළෝ යට පස් වන්නටය.

එෆ්. අස්ලම්
NEW💥 ගොසිප් ලංකා නිවුස් WhatsApp නාලිකාවෙන් පුවත් බලන්න Follow කරන්න
Follow the Gossip Lanka News channel on WhatsApp:

https://bit.ly/GossipLankaNewsWhatsApp