jaswar-umar-football-president

අද පැවති ශ්‍රීලංකා පාපන්දු සම්මේලනයේ  නිලවරණයෙන් ජස්වර් උමාර් පාපන්දු සම්මේලනයේ සභාපති ලෙස තේරී පත් විය. ලීග 67කින් ජස්වර් උමාර්  ඡන්ද 45ක් ලබාගත් අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ දක්ෂිත සුමතිපාල ලබාගත්තේ ඡන්ද  20 ක් පමණි.
එහිදී සිව් වසරක කාලයක් සඳහා (2027 දක්වා) බල පැවැත්වෙන පරිදි විධායක සභාව පත්කර ගැනිණ.මෙහිදී ජස්වර් උමාර්ගේ තේරී පත්වීම විශේෂ වන්නේ ඔහු මින් පෙර අසාධාරණයට ලක්වී තිබියදී ලෝක පාපන්දු සම්මේලනය ඒ නිසාම ශ්‍රී ලංකා පාපන්දු සඳහා තහනමක්ද ක්‍රියාත්මක කර තිබීමය.





අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ හා ආසියානු පාපන්දු සමුළුවේ නියෝජිතයන් 4 දෙනකු මෙම නිලවරණය නිරීක්ෂණය කිරීම සඳහා 27දා රාත්‍රියේ දිවයිනට පැමිණි අතර මෙම පිරිසට අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සාමාජික රටවල අභ්‍යන්තර කටයුතු භාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයකු ද ඇතුළත් විය.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණයෙදී අන්තර් ජාතික පාපන්දු සම්මේලනය ලබා දුන් උපදෙස් මාලාවට අනුව කටයුතු නොකළහොත්, ශ්‍රී ලංකාවට සම්බාධකවලට මුහුණ දීමට සිදුවිය හැකි බවට එම සම්මේලනය නිලවරණ කමිටුවට ඊයේ (28) දිනයේ ලිඛිතව දැනුම් දී තිබිණ.

පසුගිය 2023 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට එරෙහිව පාපන්දු ක්‍රීඩා කරන රටවල සංගම් 197 ක් එක්වී ජාත්‍යන්තර පාපන්දු තහනමක් පනවන්නට පවා හේතුවූයේ  පාපන්දු නිලවරණය දේශපාලනික කිරීමට

ඇමති රෝෂාන් රණසිංහ ගත් උත්සාහයයි.

2022.01.14  පැවති ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ සහය හිටපු මන්ත්‍රීවරයකු වන ශ්‍රී රංගා වෙත ලබාදී තිබුණ අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ හිටපු සභාපති (මෙවර සභාපතිවූ) ජස්වර් උමාර්ට තරඟයට ඉදිරිපත්වීමේ අවස්ථාව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අවසන් මොහොතේදී අහිමිකර තිබුණි.
ඔහු එම අසාධාරණය ලෝක පාපන්දු සම්මේලනයට පැමිණිලි කිරීමෙන් පසු පරීක්ෂණයක් පවත්වා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාප්නුද තහනමක් පැනවිණි.