kandy-salary-issue

මහනුවර මහ නගර සභාවට බඳවාගත් කම්කරුවකු මාස 3ක කාලයක් සේවය කිරීමෙන් අනතුරුව සේවය අතහැර ගිය පසුත්, වසර 04ක කාලයක් වැටුප් ගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නගර සභාවේ විගණන අංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතා පවසයි.

එසේ ඔහුට ගෙවා ඇති වැටුප් මුදල රුපියල් ලක්ෂ 17ක් වන අතර, ඔහු එසේ වැටුප් ලැබූ කාලය තුළ වසර එකහමාරක කාලයක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපනය වී ඇති බව ද අනාවරණය වී තිබේ.

මහනුවර මහ නගර සභාවේ කම්කරුවකු වශයෙන් 2019 වසරේ අප්‍රේල් 02 වැනිදා රුපියල් 30,500.00ක මාසික වැටුපකට බඳවා ගැනීමෙන් අනතුරුව ඔහු නගර සභාවේ ජල දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර ඇති අතර, එම වසරේම ජූලි මාසයේ දී ඝන අපද්‍රව්‍ය ඒකකයට ස්ථාන මාරුවක් ලබාදීමෙන් පසු ඔහු සේවය හැර ගොස් තිබේ.ඔහු සේවය හැර ගොස් ඇති බවට ඝන අපද්‍රව්‍ය ඒකකය විසින් නගර සභා පරිපාලනයට දන්වනු ලැබ ඇති බව ද විමර්ශන වල දී අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පළාත් පාලන කොමසාරිස්වරියට ද දැනුම් දී තිබේ.


ෂේන් සෙනෙවිරත්න