karukkuliya-elephant

දස දෙනකුගෙන් පමණ සමන්විත වල් අලි රංචු දෙකක් ආරච්චිකට්ටුව කුරුක්කුලිය ගම්මානයට ඊයේ (31) අලුයම කඩා වැදීම නිසා දරුවන්ගේ ආරක්ෂාව පතා කුරුක්කුලිය පාසල වසා දැමූ බව විදුහල්පති ආර්.ඒ. මිලාන් දර්ශන මහතා පැවසීය.වල් අලි රංචු දෙක ගම්මානයට කඩා වැදී එහි වගාවන් විනාශ කිරීමත් සමග ප්‍රදේශවාසීන් මහත් භීතියට පත්ව පාසලට පැමිණ සිය දරුවන් ආරක්ෂිතව නිවෙස්වලට රැගෙන ගිය බවද විදුහල්පතිවරයා කීය.



වල් අලි රංචු දෙක කුරුක්කුලිය පාසලට මීටර් සියයක් පමණ දුරකින් ලඳු කැලෑවක රැඳී සිටිමින් පොල් ඇතුළු බව භෝග විනාශ කළ බවද, ඒ වන විට පාසලේ සිසුන් 300 දෙනකු පමණ රැඳී සිටි බවද ඔහු පැවසීය.මේ අතර වල් අලි රංචු එළවා දැමීමට ප්‍රදේශවාසීහු සහ වන ජීවි නිලධාරීහු ඊයේ දවස පුරාම මහත් පරිශ්‍රමයක් දැරූහ. පුත්තලම වනජීවි පාලන ඒකකයේ නිලධාරීහු පිරිසක්ද අලි රංචුව පලවා හැරීමේ මෙහෙයුමට එක්ව සිටියහ.වල් අලි රංචුව තම්බෝව අභය භූමියේ සිට ආරච්චිකට්ටුව දෙසට පැමිණෙන්නට ඇතැයි වනජීවි නිලධාරීහු පවසති. කුරුක්කුලිය ගම්මානයේ ආරක්ෂාව වෙනුවෙන් කුරුක්කුලිය මාර්ගය ඊයේ තාවකාලිකව වසා දමා තිබූ අතර පොලිසිය අවට රැකවල්ලා සිටිනු දැකගත හැකිවිය.

හිරාන් ප්‍රියංකර ජයසිංහ