පවුල් ආරවුලක් මත වසර 13කට පෙර කතරගම, දේවාලේගමදී යුවළකට පොලුවලින් පහරදී පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියකට වරද පිළිගත් පුද්ගලයන් දෙදෙනකුට රුපියල් 30,000ක දඩ මුදලක් හා පිළිවෙළින් වසර 15ක හා වසර 30ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් හම්බන්තොට මහාධිකරණය විසින් පෙරේදා (05 වැනිදා) නියම කරනු ලැබීය. ඔවුන් මෙම ඝාතනය සිදුකර ඇත්තේ එම යුවළගේ වයස අවුරුදු 04ක දරුවා බලා සිටියදීමය. මෙලෙස සිර දඬුවම් නියම කෙරුණේ කතරගම, පෙරගිරිගම පදිංචි 65 හැවිරිදි තිදරු පියකු වූ දියුණුගලගේ තිලකරත්න හා ඔහුගේ සේවකයකු ලෙස කටයුතු කළ 39 හැවිරිදි වික්‍රමආරච්චිගේ සුමින්ද කුමාර නමැති අවිවාහක පුද්ගලයකුටය.
චුදිතයන් දෙදෙනා 2010 අගෝස්තු මස 23 වැනි දින කතරගම, දේවාලේගමදී කතරගම, පෙරගිරිගම පදිංචිව සිටි පානමුල්ල ආරච්චිගේ කීර්ති කුමාර (සැමියා) හා දේවාලේගම බඩල්ගේ ශිරෝමි (බිරිඳ) යන දෙපළ ඝාතනය කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව කතරගම පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කළ අතර එහිදී අනාවරණය වී තිබුණේ පවුල් ආරවුලක් දුරදිග ගොස් මෙම මිනීමැරුම් සිදුව තිබූ බවයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට චූදිතයන් දෙදෙනා කතරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
එහිදී පැවැති මූලික නඩු විභාගයෙන් අනතුරුව නීතිපතිවරයා විසින් 2018.02.06 වැනි දින හම්බන්තොට මහාධිකරණය හමුවේ අධි චෝදනා දෙකක් යටතේ චූදිතයන් දෙදෙනාට එරෙහිව නඩු පවරණ ලදී. ඒ අනුව පැවැති නඩු විභාගය අතරතුරදි චූදිතයන් දෙදෙනා විසින් විවෘත අධිකරණයේදී අදාළ චෝදනා සඳහා වරද පිළිගනු ලැබීය. ඒ අනුව හම්බන්තොට මහාධිකරණ විනිසුරුවරයා චූදිතයන්ට දඬුවම් නියම කළේය.
පළමු චූදිත වූ දියුණුගලගේ තිලකරත්න යන අයට අදාළ චෝදනාව සඳහා වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් 10,000ක දඩයක් නියම කෙරුණි. චූදිත දඩ නොගෙවයි නම් තවත් වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරුණි. දෙවන චූදිත වූ වික්‍රමආරච්චිගේ සුමින්ද කුමාර නමැති අයට වසර 15 බැගින් වසර 30ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරුණු අතර එය වෙන් වෙන්ව ගෙවී යායුතු බවටද මහාධිකරණ විනිසුරුවරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.
ඉහත දඬුවම්වලට අමතරව දෙවන චූදිතට රුපියල් 10,000 බැගින් රුපියල් 20,000ක දඩයක්ද නියම කෙරුණු අතර දඩ නොගෙවයි නම් වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ද නියම කෙරුණි. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතීඥ අනුරාධ විජේසුරේන්ද්‍ර පැමිණිල්ල මෙහෙයවිය.
නුවන් ජයසේකර
0 Comments