kohli-in-record

ආසියානු කුසලාන 'සුපර්-04' තරග වටයේ පාකිස්තානයට එරෙහිව ඊයේ (11දා) පැවති තරගයේදී එක්දින ලකුණු 13,000 සීමාව පසුකර යාමට ඉන්දියාවේ විරාට් කෝලි සමත් වූ අතර, ඒ අනුව එම කඩයිම වේගයෙන්ම පසුකළ පිතිකරුවා ලෙස ඔහු වාර්තා අතරට එක් විය.

මෙම තරගය පැවති පෙරේදා (10දා) දිනයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන්, තරගය ඊයේ දක්වා කල් දැමිණි. තරගය ආරම්භ කරනවිට ඉන්දීය කණ්ඩායම පන්දුවාර 24.1කදී කඩුලු 02ක් දැවී ලකුණු 147ක් රැස්කරගෙන සිටියේය. ඒ වනවිට කඩුල්ලේ රැඳීසිටියේ විරාට් කෝලි හා කේ.එල්. රාහුල් වන අතර, ඔවුන් දෙදෙනාම ඊයේ දිනයේදී දවාගැනීමට පාකිස්තාන පන්දු යවන්නන්ට නොහැකි වූහ.



ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසන් කළේ, ලකුණු පුවරුව 356/2ක් ලෙසින් ඔසවා තබමිනි. එහිදී කෝලි ලකුණු 122ක් හා කේ.එල්. රාහුල් ලකුණු 111ක් රැස්කිරීමට සමත් වූහ.

මෙහිදී කෝලි රැස්කළ ශතක ඉනිමත් සමග ඔහුගේ එක්දින ලකුණු සංඛ්‍යාව 13,024ක් දක්වා ඉහළ ගිය අතර, මෙය ඔහු ඉනිම් 267කදී සම්පූර්ණ කර ගැනීම සුවිශේෂීය. ඒ අනුව ඔහු අබිබවා යනු ලැබුවේ ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් ඉනිම් 321කදී මෙම කඩයිම වේගයෙන්ම පසුකර ගොස් පිහිටුවා තිබූ වාර්තාවයි.

කෝලි මෙම කඩයිම දක්වා පැමිණීමේදී පළමු ලකුණු 1,000 සිට ලකුණු 7,000 දක්වා වූ කඩයිම්හි වේගයෙන් පැමිණි පිතිකරුවා බවට පත් වීමට නොහැකි වුවත්, ඔහු ලකුණු 8,000 සිට 13,000 දක්වා සියලු කඩයිම්හි වේගයෙන්ම පැමිණි පිතිකරුවා බවට පත්ව සිටියි.

ඒ අනුව ඔහුට ඉනිම් 350ක් සම්පූර්ණ වීමට පෙර ලකුණු 14,000 සම්පූර්ණ කිරීමට හැකි වුවහොත්, තෙන්ඩුල්කාර්ගේ එම වාර්තාවද පසුකිරීමට හැකි වේ. කෙසේ නමුත් 14,000 සිට 18,000 දක්වා වන කඩයිම් වේගයෙන් පැමිණි පිතිකරුවා ලෙස පැමිණ සිටින්නේ තෙන්ඩුල්කාර්ය.

මේ අතර ඊයේ තරගයේදී කෝලි නොදැවී ලකුණු 122ක් රැස්කිරීමට සමත් වූ අතර, ඒ සමග මේ වනවිට 34වැනි වියේ පසුවන ඔහුට 47වැනි ශතකය සම්පූර්ණ කිරීමට හැකි විය. ඒ අනුව ලෝව වැඩිම එක්දින ශතක සංඛ්‍යාවක් රැස්කර ඇති තෙන්ඩුල්කාර්(49) අබිබවා යාමට කෝලි අවශ්‍යව ඇත්තේ තවත් ශතක 02ක් පමණි.