kurunegala-love-incident

කුඩා දරුවන් තිදෙනා නිවසේ හුදෙකලාව දමා සුරතල් බැල්ලියකට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කියා අනියම් සැමියකු මුණ ගැසෙන්නට කුලී රියකින් කිලෝමීටර් තුන්සියයකට ආසන්න දුරක් ගිය තිදරු මවක පිළිබඳව පසුගියදා වයඹ පළාත් මායිමේ ගම්මානයකින් වාර්තා විය.
දකුණේ කෙළවරක උපන් මේ කාන්තාව සැමියා මියගිය තිදරු මවකි. පුතුන් දෙදෙනෙක් සහ දියණියක් වෙති. ඔවුන් තවමත් බාල වියේය. ඔවුන් නඩත්තු කරන්නේ වයෝවෘද්ධ මාමණ්ඩිය විසිනි. අරපිරිමැස්ම ගැන හාංකවිසියක් නොදන්නා කාන්තාවක බවට ප්‍රසිද්ධය.

මාමණ්ඩිය රවට්ටමින් තමන්ගේ සිතැඟි සියල්ල ඉටුකරගන්නට තරම් ඇය කපටිය. සැමියාගේ මරණින් පසු ඇගේ පාසල් මිතුරකු වූ උපන් ගමේ පුද්ගලයකු හා අනියම් ඇසුරක් ඇය පවත්වන්නේ මාමණ්ඩියට හොර රහසේය.



සිංහල අවුරුද්ද පසුවුණා පමණි. 'තාත්තේ මම බැල්ලිට බේත් ගේන්න යනවා. සල්ලි ටිකක් ඕනෑ.' ඇය මාමණ්ඩියට කීවාය. කුලී රියක් ගෙන්වා ගත් කාන්තාව හිමිදිරියේම බැල්ලියට බේත් ගේන්නට ගියේ කුඩා දරුවන් තිදෙනා නිවසේ දමාය. මාමණ්ඩිය හවස ගෙදර එනවිට ලේලිය නැත. දරුවන් තිදෙනා කුසගින්නේ හඬමින් සිටිති. ‘අම්මා කෝ?' ඔහු දරුවන්ගෙන් ඇසුවේය. ‘අම්මා තවම ආවේ නැහැ.' දරුවන්ගේ පිළිතුර විය. ඔහු ලේලියට ඇමතුමක් ගත්තේය. තාත්තේ මම ගෙදර ආවා. හෙට දිහාට එන්නම්.' ඇය කීවාය.

සිද්ධියෙන් කෝපයට පත් මාමණ්ඩිය දරුවන් තිදෙනා සමග මහ රෑම කතරගම   බලා පිටත්වූයේය. මැදියම පසු වෙද්දී ලේලියගේ නිවසට සේන්දුවන්නට ඔවුනට හැකිවිය.

එහෙත් ඇය එම නිවසේ නැත. ඇගේ මවුපියන් පැවසුවේ දියණිය නොපැමිණි බවය. දෙපක්ෂයේ මව්පියන් එක්ව සොයා බලද්දී ඇය පාසල් පෙම්වතාගේ නිවසේ සිටින බව දැනගන්නට ලැබිණි.  මාමණ්ඩිය එළිවෙද්දීම දරුවන් තිදෙනා සමග ලේලියගේ අනියම් සැමියා වූ පාසල් මිතුරාගේ නිවස බලා ගියේය. ඇය ගමෙන් පැමිණි කුලී රිය ඒ ආසන්නයේ නවතා තිබිණි. දරුවන් තිදෙනා ලේලිය සමීපයේ දැමූ මාමණ්ඩිය කිසිත් නොදොඩා යළි ගම බලා පිටත්වූයේය. ලේලිය දරුවන් තිදෙනා සමග පාසල් පෙම්වතාගේ නිවසේය.

පුෂ්පකුමාර මල්ලවආරච්චි