kurunegala-thushara-sampath

කුරුණෑගල නගරයේ පිහිටි බුවනෙකබාහු රජතුමාට අයත් රාජසභා මණ්ඩපයට හානි සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සම්පත් විතාන මහතා ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ වරෙන්තුව අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කර ඇති අතුරු නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලීම ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් ඊයේ (18) නිකුත් කළේය.

මේ සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම විභාගයට ගැනීම අත්හිටුවමින් නිකුත් කර ඇති අතුරු නියෝගය ක්‍රියාත්මක කිරීම වළකාලමින්ද නියෝගයක් නිකුත් කෙරිණි.මෙම නියෝග නිකුත් කරනු ලැබුවේ නීතිපතිවරයා ගොනුකළ අභියාචන පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමිනි.ම

ෙම පෙත්සම ප්‍රීති පද්මන් සුරසේන, ශිරාන් ගුණරත්න සහ කුමුදුනි වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලිණි.මෙම පෙත්සමවල වගඋත්තරකරුවන් ලෙස කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සම්පත් විතාන ඇතුළු පස් දෙනෙක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා කියා සිටියේ මෙම ස්ථානය පුරාවිද්‍යාත්මක වටිනා කමින් යුත් ස්ථානයක් බවත් එය පනතින් ආරක්ෂා වී ඇති ස්ථානයක් බවත්ය. අභියාචනාධිකරණ නියෝගය අනුව මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ඇණහිට ඇති බවද ඔහු සඳහන් කළේය. පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් කියා සිටියේ මෙම ස්ථානය පුරාවිද්‍යා වැදගත්කමකින් යුත් ස්ථානයක් වශයෙන් ගැසට් කර නොමැති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ වරෙන්තු ක්‍රියාත්මක කිරීම වළකාලමින් අභියාචනාධිකරණය දුන් නියෝගය මගින් තමන්ට අගතියක් සිදුවන ලදැයි සඳහන් කරමින් එම නියෝගය ක්‍රියාත්මක කිරීම වළකාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා මෙම පෙත්සම ගොනුකර ඇත.

විමුක්ති එස්. රුද්‍රිගු