kurunegala-vehicle-fraud

කුරුණෑගල ප්‍රදේශයේ වාහන අමතර කොටස් අලෙවි කරන කෝටිපති ව්‍යාපාරිකයකු විදේශ රටවලින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා කහතුඩුව ප්‍රදේශයේ නිවසක සඟවා තිබු රුපියල් කෝටි 5 කට අධික වටිනාකමින් යුත් සුඛෝපභෝගී ජිප් රථ දෙකක් පානදුර වලාන දුෂණ මර්දන ඒකකය විසින් ඊයේ (31) අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය කියයි.සැකකරු ඔහුගේ බිරියට අයත් කහතුඩුව රිලාවල ප්‍රදේශයේ නිවසක මෙම වාහන දෙක සඟවා තිබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

එක් ජිප් රථයක් කන්ටේනර් රථයකින් මෙරටට ගෙන්වා ඇති බවත්, අනෙක් ජිප් රථය කොටස් එකලස් කර සකස් කළ වාහනයක් බවත්, පොලිසිය පවසයි. එම ජීප් රථ දෙකේ සියලු ලියකියවිලි ව්‍යාජ ඒවා බව ද සඳහන් කරයි.

වාහන ජාවාරම සම්බන්ධයෙන් පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායට ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් ඊයේ පෙරවරුවේ එම නිවෙස සෝදිසි කිරීමේ දී මෙම වාහන දෙක එහි නවතා තිබියදී සොයාගත් බව පොලිසිය කියයි. සැකකාර ව්‍යාපාරිකයා මෙම ජිප් රථ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ලියාපදිංචි කර එම ලියාපදිංචි අංක අනුව එම වාහනවල චැසි අංක හා එන්ජින් අංක වෙනස් කර ඇති බවත් ව්‍යාජ ලේඛන සකස් කර එය බිරියගේ නමට පවරා වාහන විකිණීම සඳහා සුදානම් කර තිබු බවත් පොලිසිය සඳහන් කරයි.



එම ජිප් රථ මිලදී ගැනීමට පැමිණෙන පුද්ගලයන්ට සැකයක් නොසිතෙන ආකාරයට ඉතා සුක්ෂම අයුරින් ඒවා වෙනස් කර තිබු බව ද පොලිසිය කියයි. ඔහු මෝටර් රථ අමතර කොටස් ගෙන්වන මුවාවෙන් මෙම ජාවාරම කාලයක පටන් කරගෙන ගොස් ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් කෝටිපති ව්‍යාපාරිකයාගේ බිරිය අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පවසයි. සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව ද පොලිසිය කියයි.
ඉන්දිකා රාමනායක