law-college-free-education-in-trouble

රජයේ නීති විද්‍යාලය සදහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් නොකෙරෙන හෙයින් මුදල් අය නොකර විද්‍යාලය තවදුරටත් පවත්වා ගෙන යෑමේ බරපතළ අර්බුදයක් පවතින බව එහි විදුහල්පතිවරයා අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ප්‍රකාශ කළේය.
ආර්ථික අර්බුදය සමග වියදම් වැඩිවීම නිසා සිසුන්ගෙන් අමතර ගාස්තු අය කිරීමට සිදුව ඇතැයි ද ඔහු සඳහන් කළේය.
විදුහල්පතිවරයා මෙසේ පැවසුවේ සිසුන්ට බර පැටවෙන ආකාරයෙන් නීති විද්‍යාලයේ ගාස්තු ඉහළ නැංවීමේ පදනම කුමක් දැයි කමිටුව ප්‍රශ්න කළ අවස්ථාවේදීය.


අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 23 වැනිදා නීති විද්‍යාලයේ සිසුන් මත බර නොපටවා වෘත්තියේ නියැළෙන නීතිඥවරුන්ගෙන් සාමාජික ගාස්තුවක් අයකර ගැනීමේ යෝජනාවක්ද මෙහිදී සලකා බලන ලදී. ඒ සම්බන්ධයෙන් තව දුරටත් සාකච්ඡා කළ යුතු බව කාරක සභා සභාපති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
මේ අතර නීති අධ්‍යයන සභාවේ ගැසට් පත්‍රය පිළිබඳව ද එහිදී අවධානය යොමු විය.
මෙම ගැසට් පත්‍රය නිකුත් කිරීමට පෙර නීතිවේදී උපාධිය ලබාගත් හෝ නීතිවේදී උපාධිය සඳහා ලියාපදිංචි වූ සිසුන්ට එමගින් විශාල අසාධාරණයක් සිදුවන බව කමිටුවේ අදහස විය.