ඊසාන දිග අප්‍රිකානු රටක් වන ලිබියාව හරහා හමා ගිය ‘ඩැනියෙල්‘ කුණාටුවෙන් විශාල වර්ෂාපතනයක් පැමිණීමෙන් පසු ලිබියාවේ මිනිසුන් දහස් ගණනක් මිය ගොස් ඇති අතර, එක් කලාපයක වේලි දෙකක් කඩා වැටී සම්බන්ධිත ප්‍රදේශම මුහුදට ගසාගෙන යාමක් වාර්තාවේ.
දරුණු ලෙස බලපෑමට ලක් වූ ඩර්නා නගරයේ පුද්ගලයින් 2,000 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර තවත් 6,000 ක් පමණ අතුරුදහන් වී ඇති බව ලිබියා රජයේ සෞඛ්‍ය අමාත්‍ය ඔත්මන් අබ්දුල්ජලීල් පැවසීය.
“ තත්ත්වය ව්‍යසනකාරී විය... සිරුරු තවමත් බොහෝ ස්ථානවල වැතිර තිබේ,” අබ්දුල්ජලීල් සඳුදා Almasar TV වෙත පැවසීය.
ඩර්නා "මළවුන්ගේ නගරයක්" ලෙස විස්තර කරමින් අබ්දුල්ජලීල් පැවසුවේ නගරයේ සමහර ප්‍රදේශ ගංවතුරෙන් හුදකලා වී ඇති බවයි. බලධාරීන්ට සෙවීම් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් අවශ්‍ය බව පවසමින් ඔහු ජාත්‍යන්තර ප්‍රජාවගෙන් උපකාර ඉල්ලා සිටියේය.
ලිබියාවේ රෙඩ් ක්‍රෙසන්ට් සංගමය මීට පෙර ඇස්තමේන්තු කළේ ඩර්නා හි පුද්ගලයින් 300 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව පමණක්ය.
ලිබියානු ජාතික හමුදාවේ (LNA) ප්‍රකාශක අහමඩ් මිස්මාරි පැවසුවේ ගංවතුර පීඩනය යටතේ වේලි දෙකක් කඩා වැටී ඇති බව තහවුරු කරගත් බවයි.
“මේ නිසා වේලි දෙකක් හා පාලම් තුනක් විනාශ වුණා. ගලා යන ජලය මුළු අසල්වැසි ප්‍රදේශම මිනිසුන් සමග රැගෙන ගොස් අවසානයේ මුහුදට තැන්පත්වුණා ”ඔහු පැවසීය.
ලිබියාවේ හදිසි සහ ගිලන්රථ අධිකාරියේ ප්‍රධානී ඔසාමා අලි සීඑන්එන් වෙත පැවසුවේ වේල්ල කඩා වැටීමෙන් පසු “සියලු ජලය කඳුකර වෙරළබඩ ප්‍රදේශයක් වන ඩර්නා අසල ප්‍රදේශයකට ගිය” බවයි.
වාහන සහ සුන්බුන් රැගෙන යන දැඩි මඩ ධාරා හේතුවෙන් නිම්නවල නිවාස ගසාගෙන ගොස් ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය. නගරයේ දුරකථන මාර්ග ද ක්‍රියා විරහිත වී ඇති අතර, ගලවා ගැනීමේ ප්රයත්නයන් සංකීර්ණ කරමින්, දැඩි විනාශය හේතුවෙන් කම්කරුවන්ට ඩර්නා වෙත ඇතුළු වීමට නොහැකි වූ බව අලී පැවසීය.
මිලියන හයක ජනතාවක් වෙසෙන රටක් වන ලිබියාව, 2011 මොඅම්මර් ගඩාෆිට එරෙහිව නේටෝ පිටුබලය ලත් නැගිටීමෙන් පසුව, 2014 සිට සටන් කරන කණ්ඩායම් අතර බෙදී ඇත.
සමාජ මාධ්‍යවල බෙදා හරින ලද වීඩියෝ දර්ශනවලින් පෙන්නුම් කළේ ජලයෙන් යට වූ මෝටර් රථ, කඩා වැටුණු ගොඩනැගිලි සහ ජල ධාරාවන් වීදි හරහා ගලා යන ආකාරයයි.
0 Comments