ඔබ ඔබේ ආස්වාදය පමණක් පසුපස දුවන කෙනෙක් නම් මේ පුංචි දේ ගැන ටිකක් හිතන්න. පුංචි ම පුංචි දෙයක් ගැනයි අපි කතා කරන්න යන්නෙ. කොච්චර පුංචි ද කියනවා නම් ඔබේ අතේ තියෙන පැන් තුඩටත් වඩා පුංචියි. මොකක් ද දන්නව ද මේ පුංචි දේ? ඒ තමයි නැවතීමේ ලකුණ! නැවතීමේ ලකුණ ගැන මොනව ද ඔය තරම් කතා කරන්න තියෙන්නෙ කියලා ඔබ අහයි. ඇත්තෙන් ම අපි කවුරුත් හොඳින් අඳුනන මේ නැවතීමේ ලකුණ' ඇසුරින් පොඩි පණිවුඩයක් දීමයි මගේ අරමුණ.
'නැවතීමේ ලකුණ' ඕනෑ ම භාෂාවක අත්‍යවශ්‍ය ම දෙයක් බව අපි දන්නවා. නැවතීමේ ලකුණක් නැතිව එක දිගට පේළි තුන හතරක් ලියලා ආපහු කියවලා බලන්න, විකාරයක් වගේ නේද තේරෙන්නෙ. ඒ වගේ ම නැවතීමේ ලකුණු වාක්‍යයක වැරදි තැනකින් තියලා බලන්න. මිනී මරන වැඩක් ඒ පුංචි තිත එහා
මෙහා වීමෙන් විය හැකියි. මට මතකයි කොහේදෝ මම ඒ වගේ දෙයක් කියෙව්වා.
1. Kill him. Not send him back.
2. Kill him not. Send him back. බලන්න මේ වැකි දිහා.
මේවායි ඒවායේ සිංහල තේරුම්.
1. මොහුව මරන්න. එපා නැවත එවන්න.
2. මොහුව මරන්න එපා. නැවත එවන්න.
බලන්න පළමු සහ දෙ වැනි වැකි අතර මිනීමරු වෙනසක් නැද්ද කියලා. පේනවා නේ ද පුංචි වුණාට නැවතීමේ ලකුණ කියන්නෙ මොන තරම් අනතුරුදායක, බලගතු, ප්‍රයෝජනවත්, ඒ වගේ ම තේරුමක්, සැලැස්මක් ඇතිව යමක් ලිවීමට අත්‍යවශ්‍ය ම දෙයක් ද කියලා.. ඉතින් මේ සාහිත්‍යය හෝ භාෂාව පාඩම නොවෙයි. මම මේ කියන්න යන භාෂාවකට නැවතීමේ ලකුණ අත්‍යවශ්‍යයි වගේ ම අපේ එදින්නෙදා ජීවිතයේදීත් අපට සමහර දේවල්වලටත් නැවතීමේ ලකුණක් තිබීම අත්‍යවශ්‍ය වන බවයි. අපේ ජීවිතය අර්ථවත් ලෙස, ප්‍රයෝජනවත් ලෙස, සැලැස්මක් මත ගෙනයාමට නම් අපි බොහෝ දේ පිළිබඳව 'මානසික නැවතීමේ ලකුණක් ප්‍රයෝජනයට යොදාගත යුතුමයි.
බලන්න... "පොඩි අඩියක් ගහමු මචං..." කියලා නිකං විනෝදෙට වගේ සෙට් වෙන යාළුවෝ මත්ත්පැන් බෝතලයක් කටගාන්න පටන් ගත්තම සමහරුන්ට නැවතීමේ ලකුණක් ගැන මතක නෑ. කර ගාවට එනකං බොනවා. ඊට පස්සෙ කරන විකාර ඊට හපං. කුණුහරුප කියනවා, වමනෙ දානවා, බුඩමුට්ටු උඩ වැටෙනවා, වීදුරු පිගන් බිදෙනවා, දරුවන්ට ලැජ්ජා වෙන විදිහට හැසිරෙනවා. යාළුවො එකතු වුණාම පොඩි විනෝදෙකට වගේ පොඩි අඩියක් ගැහැව්වත් කමක් නැහැ කියමුකෝ. (හැබැයි එහෙමවත් නො බොනවා නම් තවත් හොඳයි කියලයි මට නං හිතෙනෙ.)
නමුත් තමන්ට දැන් බිව්වා ඇති කියලවත් අඩු ම ගාණ තමුන්ට තේරෙන්න ඕනැ. මේ අන්තිම උගුර. ඊට පස්සේ නැවතීමේ ලකුණ ! කියලා ශක්තිමත් පියවරක් ගන්න තරම් හයියක් හිතට නැත්නම් ඒ මිනිහා මොනතරම් උගත් වුණත්, උසස් වුණත් හරි ම දුර්වල කෙනෙක්, මෝඩයෙක් වගේම අවාසනාවන්තයෙක්. වෙරි හිඳුණට පස්සෙ තමයි තමන් වෙරි පිට කරලා තියෙන විකාර විදිහ ගැන ලැජ්ජා හිතෙන, කළකිරෙන. නැවතීමේ ලකුණක්! නැතිව මෝඩයෝ, පිස්සෝ වගේ වැඩ කිරීමේ ආදිනව කෙතරම් භයානක ද කියලා අපිට පේවා.
මේ එක නිදසුනක් විතරයි. සීමාවක් නො දැන හැම දේක ම අනන්තයට ගිහින් අමාරුවෙ වැටිලා, දුක් විඳින, පසුතැවෙන ඒ වාගේ අය ගැන අපිට ඕනැ තරම් දකින්නට ලැබෙනවා. සමහරු නිදාගන්න ගියත් නැවතීමේ ලකුණක් නෑ. කම්මැලිකම ඉහවහා ගිහින් දවස් ගණන් නිදාගන කළ යුතු වැඩ රාශියක් එක තැන පල් වෙද්දි. සමහරු වියදම් කරන්න ගියාමත් එහෙමයි. පසුම්බියේ මුදල් සේරම ඉවර වුණත් අත්‍යවශ්‍ය දේවල් ගෙදර දොරේ වගකීම් අමතක කරලා ඔහේ අනවශ්‍ය දේට, විනෝදෙට අමතරව විලාසිතා, ඇඳුම් පැළඳුම්, රස්තියාදු ගමන් බිමන්වලට වියදම් කරනවා. ඒත් අත්‍යවශ්‍ය දේ වියදම් කරන්නෙ නෑ. විශේෂයෙන් තරුණ වයසේ ඉන්න මේ විදියෙ දූවරු, පුත්තු හින්දා දෙමව්පියො වගේ ම අනික් අහිංසක සහෝදර සහෝදරියොත් අපා දුක් විඳවනවා වෙන්නත් පුළුවන්. නංගිලා මල්ලිලා බඩගින්නෙ ඉන්දැද්දි, ඉස්කෝලෙ යන්න පොත් නැතුව ඉන්දැද්දි අක්කා/අයියා ස්ටයිල් කරන්න වියදම් කරන හැටි ඒල්ගොල්ලො නිහඬව, කඳුළු සහිතව බලා ඉන්නවා වෙන්නත් පුළුවන්.
සමහරු කෑමට බීමට ගියත් නැවතීමේ ලකුණක් ගැන හිතන නෑ. මගුල් ගෙදරකට ගියත්, පාටියකට ගියත්, තමන්ගේ ම ගෙදරකදි වුණත් අනිත් අය කෑව ද, බිව්ව ද, එයාලා මොනව ද කන්නෙ බොන්නෙ කියලා හිතන්නවත් උත්සාහ කරන්නෙ නෑ.
බෙල්ල ළඟට එනකල් කෑදරකමට කන එක ම තමා වැඩේ. ආදරය පිළිබඳවත් මේ නැවතීමේ ලකුණ බොහෝ අවස්ථාවල දී අත්‍යවශ්‍ය බව ගොඩාක් පෙම්වතුන්ට/පෙම්වතියන්ට විතරක් නෙමේ සමහර විට විවාහක අයටත් අමතකයි. රැකියාව, ඉගෙනීමේ කටයුතු, වගකීම්, දෙමාපියන් වගේ කොයි දේ ගැන වුණත් තැකීමක් නැතුව සමහරුන්ට නිමක් නැති ප්‍රේමය තමා ජීවිතේ එක ම අංගය. පෙම්පත් ලියනවා, පෙම් ගී එකතු කරනවා, රස විඳිනවා. දුරකථනයට නිවාඩුවක් නෑ. අනවශ්‍ය වියදම් කරනවා. අනවශ්‍ය ගමන් බිමන් යනවා විතරක් නෙමේ ශාරීරිකව වුණත් අන්‍යෝන්‍ය වශයෙන් අසීමිත අන්තවලට යන්න ඉඩ තියෙනවා. අනිත් වැඩ සේරම පැත්තක තියලා ප්‍රේමය' විතරක් තදින් ම ඉහට ගහගත්ත උදවියට අනිවාර්යයෙන් ම ඒකේ වේදනාත්මක ප්‍රතිඵල බොහෝ ම නිස්කලංකව විඳගන්න සිදුවන එක ඉතින් කාටවත් වළක්වන්න බෑ. ඒ ආදරේ නරක දෙයක් නිසා නෙමේ. සීමාන්තිකව, සමබරතාවක් නැතිව, නැවතීමේ ලකුණක් නැතිව කරදරේ වැටෙන තුරු ම ප්‍රේම කරන්න යන නිසයි.
ලිංගික ජීවිතය පිළිබඳව වුණත් නැවතීමේ ලකුණක් තිබිය යුතු තැන පිළිබඳ අවබෝධයක් නැතිව දිගින් දිගට ම ආශ්වාදය පසුපස විතරක් පිස්සුවෙන් වගේ දගලන, දුවන අය අන්තිමේ දී මහා වේදනාවකට, ගිනි ජාලාවකට, සමහර විට භයානක ලෙඩ රෝගවලටත් පවා බඳුන් වෙන හැටි ඔබත් අහලා දැකලා ඇති අනන්තවත්. ඉතින් මේ වගේ අපේ එදිනෙදා ජීවිතයේ දී නො කළ යුතු දේ මුළුමනින් ම නවත්වන්නත්, සමහර දේ තරමකට විතරක් සීමා සහිතව කරන්නත් අපි කල්පනාකාරී නො වුණොත් අපේ ම විහින් අපි ලොකු වේදනාවක වැටෙන්න ඉඩ ඇති බව මතක තියාගන්න. නයින්ට කිරි පොවලා, ඇති දැඩි කරලා අන්තිමට ඔබට දෂ්ඨ කළොත් අනුන්ට දොස් කියන්න එපා. ඔබේ සීමාවන් ඔබට ම තේරෙන්නෙ නැත්නම්, ඔබට නැවතීමේ ලකුණක් නැතිකම නිසා ඔබ අනුන්ට කරන හිරිහැරය තේරෙන්නෙ නැත්නම් මේ දැන් ම සුදු කඩදාසියක් අරගෙන ලොකු නැවතීමේ ලකුණක් සටහන් කරලා ඔබට නිතර පේන තැනක එල්ලන්න. මේ විකාර වැඩක් වගේ පෙනුණත් තිරිංග නැති වාහනයක් වගේ ඔහේ වේගයෙන් ගිහින් හැප්පිලා විනාශ වෙනවට වඩා, ඔබේ ම ජීවිතය නිෂ්ඵල, නිසරු අත්දැකීමක් කරගන්නවට වඩා තමන්ටත් අනුන්ටත් ගින්දරක් වෙනවට වඩා මේ වගේ පුංචි විකාර වැඩක් කරලා හරි නැවතීමේ ලකුණ තිබිය යුතු තැනට නැවතීම තියන්න ඔබ ඉගෙන ගත්තොත් ඔබ අර්ථවත් ජීවිතයකට පාර අසාගත් වාසනාවන්තයෙක් වේවි.
(උපුටන සටහන - මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු)
0 Comments