malambe-husband-death

තමා සමග අමනාප වී නිවස හැරගිය බිරිඳ සහ දරු දෙදෙනා යළි නිවසට නොපැමිණීම පිළිබදව සිත් තැවුලෙන් ලිපියක් ලියා තබා විසක් ශරීරගතවී මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් මරණින් දින හතරකට පසුව සොයාගත් බව මාළඹේ පොලිසිය පවසයි.මෙසේ මියගොස් ඇත්තේ මාළඹේ ගොඩැල්ලවතත් පාර පදිංචි රමේෂ් දිමංක සල්ගාදු නමැති (36) හැවිරිදි නිමි ඇඳුම් ව්‍යාපාරිකයකු බව ද පොලිසිය කියයි.මියගිය පුද්ගලයා නිරන්තරයෙන්ම බිරිය සමග ඇති කරගන්නා ආරවුල් හේතුවෙන් දින කිහිපයකට පමණ පෙර බිරිය දරු දෙදෙනා සමග ඇයගේ නිවසට ගොස් ඇති අතර යළි නිවසට එන්නැයි අවස්ථා කිහිපයක දී මොහු බිරියට ඇවිටිලි කළත් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නැතැයි පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

මේ අතරතුර දී බිරිය සැමියාට දුරකථන ඇමතුමක් ගෙන ඇති අතර ඊට ප්‍රතිචාර නොදැක්වීම නිසා අසල්වාසියකුට දන්වා නිවසේ සිටින සැමියා පිළිබඳව තොරතුරක් ලබා දෙන්නැයි ඉල්ලා තිබේ.

ඒ අනුව අසල්වාසියකු නිවස අසලට විත් විපරම් කර බැලීමේ දී ඒ තුළින් අධික ලෙස දුගඳක් වහනය වීම නිසා සැක සිතී ඒ පිළිබඳව බිරිඳට දන්වා ඔවුන් පැමිණ බලා මේ පිළිබඳව පොලිසිය දැනුවත් කර තිබේ.පසුව පොලිසිය පැමිණ නිවස තුළට ගොස් පරීක්ෂා කර බැලීමේ දී නිවසේ සාලයේ පුටුවක් මත දින හතරකට පමණ පෙර මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාත් බවත් එය අධික දුගඳ හමමින් හඳුනාගත නොහැකි තරමටම නරක් වී තිබූ බවත් පැවසේ.

මේ අතර මළ සිරුර අසල වස කුප්පියක් තිබී හමුවී අති අතර ඒ අනුව එම පුද්ගලයා වස පානය කොට දිවි හානි කර ගන්නට ඇතැයි පොලීසිය සැක කරයි.පසුව නිවස පරීක්ෂා කිරීමේ දී ‘මගෙන් සිදුවූ වැරැදිවලට සමාවෙන්න. මා සමග තරහා වෙන්න එපා. මම ජීවිතය නැති කර ගන්නවා. මගේ සහෝදරයෙකුට සල්ලි වගයක් දීලා ඇති ඒ සල්ලි ඉල්ලා ගන්න. මට සමාවෙන්න '' යනුවෙන් ලියා තිබූ ලිපියක් හමුවී ඇති බව පොලිසිය කියයි.

පසුව සිද්ධිය වූ ස්ථානයට තලංගම හදිසි මරණ පරික්ෂිකා ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදුකොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය අයි.ඩී.එච්. රෝහලට රැගෙන යන ලෙසට පොලිසියට නියෝග කළාය. ඒ අනුව අයි.ඩී.එච්. රොහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඒ.ජී.ඇම්. ඇස්. ප්‍රනාන්දු මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කරනු ලැබීය.

එහිදි මෘතදේහය හඳුනාගත නොහැකි තරමටම නරක්වී තිබීම නිසා මරණයට හේතුව නිශ්චිතවම දැක්වීමට නොහැකිවීම හේතුවෙන් සිරුරේ පටක කොටස් වැඩිදුර පරීක්ෂණය සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට අධිකරණ වෛද්‍යවරයා පියවර ගෙන තිබුණි. ඒ අනුව ඉදිරිපත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවට අනුව මරණයට හේතුව නොදක්වා විවෘත තීන්දුවක් ලබාදීමට තලංගම හදිසි මරණ පරික්ෂිකා සාම විනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය පියවර ගත්තාය.
ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න