maligakanda-death

කෙසේ හෝ පාතාලය නසන බව මහජන ආරක්ෂක ඇමැතිවරයා පැවැසුවද දැන් දැන් සතියකට වෙඩි තැබීම් තුනක්වත් වාර්තා වීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව ඇත. යතුරුපැදිවලින් පැමිණෙන වෙඩික්කරුවන් මහ දවල් සිදුකරන මෙවැනි වෙඩි තැබීම් හේතුවෙන් මේ දිනවල සාමාන්‍ය ජනතාවට මහ පාරේ ගමන් කිරිමට සිදුව ඇත්තේ මර බියෙනි.

දැඩි ආරක්ෂිත කලාපයක් වන කොළඹ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණ භූමිය අසලදී යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනකු පෙරේදා (17 වැනිදා) එල්ල කළ වෙඩි වරුසාවකින් අකාලයේ මිය යෑමට සිදුවූයේ අහිංසක මල් කැකුළකටය. ‘අප්පගේ පව් පොඩි උන්ගේ කරේ’ යන කියමන සනාථ කරමින් හය හැවිරිදි එම දැරිය වෙඩිඋණ්ඩයට බිලි වූයේ රටම කම්පා කරවමිනි.

මාලිගාකන්ද සරත් ෆොන්සේකා මාවතේ දී ත්‍රිරෝද රථයකින් ගමන් කළ පිරිසක් ඉලක්ක කරමින් වෙඩි තැබීමක් සිදුව තිබුණේ පෙරේදා (17 වැනිදා) පස්වරු 03.45ට පමණය. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු ත්‍රිරෝද රථයේ සිටි පිරිසට වෙඩි පිට වෙඩි තබා තිබිණි. එම අවස්ථාවේදී කාන්තාවන් දෙදෙනකු, කුඩා දැරියක, තවත් පුද්ගලයකු සහ රියැදුරු ත්‍රිරෝද රථයේ සිට ඇත.

මෙම වෙඩි තැබීමෙන් ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයාට සහ ඔහුගේ හය හැවිරිදි දැරියට බරපතළ තුවාල සිදුව තිබේ.

එනමුත් කාන්තාවන් දෙදෙනාට හා රියැදුරුට කිසිදු අනතුරක් නොවිණි. වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා වෙඩික්කරුවන් පිටුපස හඹා ගියද ඔවුන් අල්ලා ගැනීමට ඉඩ ලැබී නැත.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වූයේ කොටහේන, ඩෝපිවත්තේ පදිංචි අකිල බුද්ධික මිගාර පෙරේරා නමැත්තතාය. වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ අභිමානි තෙරුවන්දිකා නමැති 06 හැවිරිදි දැරිය කොළඹ ජාතික රෝහලේදී පෙරේදා (17 වැනිදා) සවස ජීවිතක්ෂයට පත්වූවාය.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් වන මූලික විමර්ශන මරදාන පොලිසිය විසින් සිදුකළ නමුත්, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් මෙහි වැඩිදුර විමර්ශන භාර කරනු ලැබුවේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙතයි. ඒ අනුව එම කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වාගේ උපදෙස් මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇනසලම් ද සිල්වා විසින් විමර්ශන භාර කරනු ලැබුවේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක ඇතුළු නිලධාරීන් වෙතයි. එහි බුද්ධි ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මහේෂ් දුනුසිංහ ඇතුළු නිලධාරීන් විසින් විමර්ශන සඳහා බුද්ධි සහාය ලබාදී තිබිණි.

මේ අනුව උප පොලිස් පරීක්ෂකවරුන් පස්දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කරන ලදි. මරදාන දෙස සිට යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති බවත් බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ සිටි ෆස්වාන් නමැති පුද්ගලයකු මාර්ගය නිරීක්ෂණය කරමින් ඔවුනට තොරතුරු සපයා ඇති බවත් එහිදී අනාවරණය විය.

මෙම වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටින පුද්ගලයා පසුගිය 15 වැනිදා අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට කොටහේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පෙරේදා (17 වැනිදා) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ අයෙකි. ඔහු ඇප ලබා පැමිණෙන අතරතුර ඝාතනය කිරීමට මෙකී කොන්ත්‍රාත්තුව ලැබී තිබිණි.



ඔහුට ඇප ලබා ගැනීම සඳහා බිරිඳ, දියණිය හා ඥාති කාන්තාවකද මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණ තිබේ. ඇප ලැබූ සැකකරු ඇතුළු පිරිස මාලිගාකන්ද අධිකරණයෙන් පිටතට පැමිණ කඩයකින් තේ පානය කර කුලී ත්‍රිරෝද රථයකින් පැමිණ ඇත්තේ කොටහේන පිහිටි නිවසට යාමේ අරමුණෙනි.

මෙම වෙඩි ප්‍රහාරයට ලක්වූ අකිල මිගාර පෙරේරා නමැත්තා 2022 වසරේ නොවැම්බර් 28 වැනිදා මට්ටක්කුලිය, අලුත් මාවතේදී බදියුර්ඩීන් මොහොමඩ් ෆර්හාන් නමැත්තා කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකි. ෆර්හාන් යනු විදෙස්ගත සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘පොඩි සුරේෂ්’ නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් ලැබෙන මුදල් උණ්ඩියල් ක්‍රමයට හුවමාරු කළ පුද්ගලයාය.

මෙම ඝාතනය සිදුකර තිබුණේ දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින එවක ඩුබායිහි රැඳෙමින් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ සළිඳු මල්ෂිත ගුණරත්න හෙවත් ‘කුඩු සළිඳු’ගේ මත්ද්‍රව්‍ය ජාලයේ කිහිපදෙනකු විසිනි.

බොරැල්ල, වනාතමුල්ල කේන්ද්‍රගතව මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන වනාතේ දුමින්දගේ කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය කර තිබුණේ වනාතමුල්ලේ චතූ මල්ලී ඇතුළු කල්ලියක් විසිනි. මෙම ඝාතනයට අදාළව සැකකරුවන් හයදෙනකු අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිට ඇති අතර, ඔවුන් ඇප මත නිදහස්ව පැමිණ තිබුණේ මීට මාස කිහිපයකට පෙරය.

ෆර්හාන් ද කුඩු සළිඳු සමගින් සමීපව ගනුදෙනු කළ අයෙකි. සළිඳුගේ කුඩු ජාවාරම සම්බන්ධයෙන් වූ ආරවුලක් හේතුවෙන් ඔහු ඝාතනය කර ඇතැයි පැවසේ. එය රුපියල් ලක්ෂ පනහක් උණ්ඩියල් කිරීමේදී ඇතිවූ ගැටලුවක් බව පසුව අනාවරණය වී තිබේ. ෆර්හාන් ඝාතනයෙන් පසු එකී සැකකරුවන් හයදෙනාම පොඩි සුරේෂ්ගේ ඉලක්ක බවට පත්ව තිබිණි.



මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වූ චතූ මල්ලී නමැත්තා ඝාතනය කිරීම සඳහා මාස ගණනකට පෙර කොන්ත්‍රාත්තුව ලබා දී තිබුණේ මහා පරිමාණ සංවිධානාත්මක අපරාධකරුවකු වන ගනේමුල්ලේ සංජීවටය.

‘චතූ මල්ලි’ යනු බොරැල්ල වනාතමුල්ලේ ප්‍රධානම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුය. කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වසරකට පමණ පෙර ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ කේරළ ගංජා කිලෝග්‍රෑම් හතරක් සහ රුපියල් පනස්හය ලක්ෂයක මුදල් ද සමගිනි. ගනේමුල්ල සංජීව විසින් ‘චතු මල්ලි’ ඝාතනයට වෙඩික්කරුවන් සපයන්නේ ඔහුගේ හොඳම මිතුරකු වූ ‘චුට්ටං’ නමැත්තා කපා කොටා මරා දැමීමේ පළිය ගැනීමේ අරමුණෙනි. ඊට අමතරව ‘චුට්ටං’ගේ ගෝලයකු වූ ප්‍රදීප් නමැත්තා සහස්පුර නිවාස සංකීර්ණයේදී කපා කොටා දැමීම ද ඊට හේතුවක් වූවා විය හැකිය.

ගනේමුල්ලේ සංජීවගෙන් සහ පොඩි සුරේෂ්ගෙන් පණ බේරාගැනීමේ චේතනාවෙන් ‘චතූ මල්ලී’ සැඟව සිටින අතර ඔහුගේ ව්‍යාපාරික කටයුතු සියල්ලම මෙහෙයවා තිබුණේ මාමා කෙනකු වූ කැලණියේ පදිංචි සංජීව නමැත්තා විසිනි.

මෙකී සංජීව මීට මාස තුනකට පෙර බොරැල්ල, ලෙස්ලි රණගල මාවතේ දුම්රිය හරස් මාර්ගයේදී වෙඩි තබා ඝාතනය කර තිබුණේ චතූට රිදවීම සඳහා සුරේෂ් සහ ගනේමුල්ල සංජීව විසින් යෙදූ සැලැස්මක ප්‍රතිඵලයක් වශයෙනි.

මේ අතර අකිල මිගාර නමැත්තා අධිකරණයේ විභාග වන නඩුවක් අතරතුරදීම ඝාතනයට ලක්වන්නේ ද ෆර්හාන් ඝාතනය වූ අයුරින්මය. ෆර්හාන්ද පසුගිය වසරේ නොවැම්බර් 28 වැනිදා අධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී සිට මට්ටක්කුලියට පැමිණි අවස්ථාවේදී ඝාතනය කර තිබිණි.

ඒ අනුව පෙරේදා (17 වැනිදා) මාලිගාකන්ද උසාවියේදී සිදුවූයේ ද පළිගැනීම සඳහා සැලසුම් සහගතව කළ වෙඩි තැබීමක් විය හැකි බවට පොලිසිය සැක පළ කරයි.

මෙම වෙඩි ප්‍රහාරයේදී අකිල නමැත්තා ඉලක්කය වූවා සේම ඔහුගේ හය හැවිරිදි දැරියට අහඹු ලෙස වෙඩි වැදී නැතැයි හෙළිව තිබේ. වෙඩික්කරුවන් තම සැමියාට වෙඩි තබා දරුවාට ද හිතාමතාම වෙඩි තැබූ බව අකිලගේ බිරිඳගේ ප්‍රකාශය මගින් අනාවරණය වීම ඊට හේතුවයි.

ෆර්හාන්ගේ ඝාතනයට සම්බන්ධ සියලුදෙනා මරාදැමීම සඳහා පොඩි සුරේෂ් විසින් දැනටමත් වරෙන්තු ලියා අවසන්ය. පොඩි සුරේෂ් ඉන්දියාවේ බන්ධනාගාරයක සිටියද දුරකතන මගින් සියල්ල මෙහෙයවීම ඉන්දීය ආරක්ෂක අංශවලට පවා ප්‍රශ්නයක් වී තිබේ. සුරේෂ්ගේ සියලු නියෝග ක්‍රියාත්මක කරන්නේ ‘බ්ලූමැන්ඩල් රවී’ විසිනි. ඔහුද දැන් සිටින්නේ ඉන්දියාවේ වීම විමතියට කරුණකි.

ෆර්හාන් ඝාතනයට සම්බන්ධ සෙසු පස්දෙනාටම දැන් සිදුව ඇත්තේ ජීවිතාරක්ෂාව පැතීම පමණි. ඒ අනුව ඔවුන්ගේ ජීවිත සුරැකීමේ වගකීම ඇත්තේ ආරක්ෂක අංශ සතුවය.

එෆ්. අස්ලම්