maligawatte-bike-shoot

මාලිගාවත්තේ දී පුද්ගලයකුට වෙඩි තබා බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණ වී ඇත්තේ, කෙසෙල්වත්තේ දී පොඩි කවී නැමැත්තා ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස මෙම වෙඩි තැබීම සිදු කළ බවයි.
මාලිගාවත්තේ දී පසුගිය 01 වැනිදා යතුරුපැදි සේවා ස්ථානයක් විවෘත කළ පුද්ගලයකුට නාඳුනන තුවක්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පළා ගොස් තිබිණි.


වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එහි හිමිකරු රෝහල්ගත කළ අතර, ඔහු සංවිධානාත්මක අපරාධකරුවකු වන මාලිගාවත්තේ නෙවිල් නැමැත්තාගේ ඥාතියෙකු බව පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධ විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් සිදු කළේය.
ඒ අනුව සිදු කළ විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ, අදාළ වෙඩි තැබීම සඳහා යතුරු පැදිය පැදවූ පුද්ගලයා කෙසෙල්වත්තේ පදිංචි සුගත් පුෂ්ප කුමාර නොහොත් කසුන් නැමැත්තකු වන බවයි.
අනතුරුව සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් මල්වාන ප්‍රදේශයේ සැඟ ව සිට තිබේ.
විමර්ශන නිලධාරීන්ට පසු ව අනාවරණ වී තිබුණේ, සැකකරු හෙරොයින් මිල දී ගැනීම සඳහා වැල්ලම්පිටිය ප්‍රදේශයට පැමිණෙන බවයි.


ඒ අනුව වැල්ලම්පිටිය ප්‍රදේශයට ගොස් සිදු කළ විමර්ශනයක දී සැකකරු හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 180ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණ වී ඇත්තේ, තමන්ගේ කුඩා කල සිටම සමීප මිතුරකු වන පොඩි කවී නැමැත්තා ඝාතනයට පළිගැනීමක් ලෙස මෙම වෙඩි තැබීම සිදු කළ බවයි.
නෙවිල් නැමැත්තා විසින් පොඩි කවී නැමැත්තා ඝාතනයට සැලසුම් කිරීමට එකට එක කිරීමක් ලෙස මෙය සිදු කළ බව ද සැකකරු පවසා තිබේ.