manujaya-death-al-results

මෙවර අපොස උසස් පෙළ විභාගයට දෙවැනි වරට පෙනී සිටීමෙන් පසු බී 3 ක සාමාර්ථයක් සමග ගණිත අංශයෙන් සමත්ව විශ්ව විද්‍යාල වරම් ලැබූ කුරුණෑගල මලියදේව විදුහලේ ශිෂ්‍යයකු තම අපමණ සතුට සමග රාත්‍රී නින්දේදී හදිසියේ මියයාම මින් ඉහත වාර්තාවූ පුවතකි. සිසුවාගේ මරණය සම්බන්ධ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ  හදවතේ කිරිටක ධමනියක රුධිර ගමනාගමනය අවහිර වීම හේතුවෙන් මරණය සිදුව ඇති බවය.


ඔහුගේ ප්‍රතිඵලය ලැබීමෙන් අපමණ සතුටට පත්ව සිටි අතර ප්‍රතිඵල ලැබී දින දෙකකට පසුව හදවත් රෝගයකට ලක්ව හදිසියේම මරණයට පත්වීමෙ බොහෝ අය කම්පණයට පත් කළ ශෝචනීය පුවතක් බවට පත් විය.
මෙම අකල් මරණයට ලක්වූයේ වැල්ලව, තෝරයාය, රණවන ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි ආර්.ජී මනුජය සමාල් ය.
මියගිය තරුණයා පසුගිය වසරේ උසස් පෙළ විභාගයට ගණිත අංගයෙන් දෙවැනි වරටද පෙනී සිට ප්‍රතිඵල වලට අනුව බී සාමාර්ථ තුනක් හා ඉහළ ඉසෙඩ් සාධනයකින් සමත්ව සිටි ඇත.
උසස් පෙළට පෙනී සිටි අතරේදීම ඔහු මහජන බැංකුවේ කුරුණෑගල මල්ලවපිටිය ශාඛාවේ ගිණුම් ලිපිකරුවකු ලෙස තාවකාලිකව රැකියාවකද නිරතව සිටි අතර විභාගයෙන් සමත් වීමේ ප්‍රීතිය නිමිත්තෙන් ඔහු පෙරේදා පස්වරුවේ තමන් සේවය කළ බැංකුවේ කාර්ය මණ්ඩලය සඳහා තේ පැන් සංග්‍රහයක්ද පවත්වා ඇත.


එම සාදයෙන් අනතුරුව නිවසට ගිය ඔහු එදින
රාත්‍රියේ නින්දට ගොස් ඇති අතර පසුදින උදෑසන අවදි වීමට ප්‍රමාද වීම හේතුවෙන් මව ගොස් සොයා බැලීමේදී ඔහු නිදි ඇඳේ සිහිසුන්ව මෙන් සිටින බව දැක ඇත.

එහිදී ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වන විටත් ඔහු මරණයට පත්ව ඇති බව වෛද්‍යවරුන් තහවුරු කර ඇත.
මියගිය තරුණයා මරණයට පත්වීමට පෙර දින රාත්‍රියේ 10.00 පසුවන තුරුම තම මිතුරකු සමඟ කතාබස් කර ඇති බව පැවසෙන අතර ඉන් පසුව හදිසියේ රෝගාතුරව නිදි ඇඳේම මරණයට පත්වන්නට ඇති බව පැවසේ.

මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය එස්.එම්. එච්. එම්. බී. සේනානායක මහතා හදවතේ කිරිටක ධමනියක රුධිර ගමනාගමනය අවහිර වීම හේතුවෙන් මරණය සිදුව ඇති බව නිගමනය කර ඇත.
ඔහු පිරිමි දරුවන් දෙදෙනකුගෙන් යුත් පවුලක වැඩිමල් දරුවාය. අවසන් කටයුතු ඊයේ ( 8 ) සිදු කිරීමට නියමිතව තිබිණි.