matara-incident

මාතර, වැලිගම, නලවන ප්‍රදේශයේ මාස 4 ක කුඩා දරුවෙකු එන්නතක් විෂවීමෙන් පෙරේදා (05දා) සවස ජීවිතක්ෂයට පත්ව ඇති බව ඥාතීහු පවසති.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නලවන, කලුගල්කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි මතීෂ මිහිරංග (මාස 4) නමැති සිඟිති දරුවෙකි.

පසුගිය 2වැනිදා මෙම දරුවාට වැලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් මාස 4ක් සදහා අතට සහ කකුලට එන්නතක් විද තිබූ අතර, එදින සහ ඊට පසුදා සාමාන්‍ය ලෙස උණ වැලඳී තිබූ අතර, එන්නත විද දින තුනකින් පමණ අසාමාන්‍ය ලෙස දරුවා අසනීප වීම නිසා ඉමදූව දිසා රෝහලටත් පසුව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබුණද,

ඒ වනවිටත් මෙම දරුවා ජීවිතක්ෂයට පත්ව සිටි බව දරුවාගේ ඥාතීහු පවසති.

ඔවුන් ඉල්ලා සිටින්නේ දරුවාට සාධාරණයක් ඉෂ්ට කරදෙන ලෙසයි. දරුවාගේ මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී පෙරේදා (5දා) පවත්වා ඇති අතර දරුවා මියයෑම සම්බන්ධව විවෘත තීන්දුවක් එහිදී ලබාදී තිබේ.

මේ සම්බන්ධව අදහස් පළ කළ දරුවාගේ මව වන අසෝකා ඉදුනිල් මහත්මිය මෙසේ පැවසුවාය.

“ මගේ දරුවාට මාස 4 බේත් එක විද්දා පසුගිය 2 වෙනිදා වැලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන්. ඊට පස්සේ සාමාන්‍ය විදියට උණ ගත්තා. ඊට පහුවදත් උණ තිබුණා. 4 වෙනිදා වෙනකොට දරුවා සාමාන්‍ය විදියට හිටියා. 5 වෙනිදා උදෙත් හොදට හිටියා සෙල්ලම් කළා. දවල් වෙද්දි අසනීප වෙලා ඉමදූව දිසා රෝහලටයි ගාල්ල කරාපිටිය රෝහලටයි අරන් ගියා.

ඒ වෙනකොටත් දරුවා අපිව දාලා ගිහින් තිබුණා. වැලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් කියනවා මේ එන්නත එදා තවත් දරුවන් කීප දෙනෙකට විද්දලු. වෙන කාටවත් ප්‍රශ්නයක් නැහැලු. මගේ දරුවට විතරක් විෂ වෙන්න විදියක් නැහැලු. ඩොක්ටර්ස්ලා කියනවා දරුවා නිරෝගිමත්ලු. අභ්‍යන්තරයේ තියෙන ප්‍රශ්නයලු. ඒකට හරි තීන්දුවක් දෙන්න කාලයක් ඕනලු. එවිචරයි මං දන්නේ. මං ඉල්ලන්නේ මගේ දරුවට මොකද වුණේ කියලා සාධාරණ තීන්දුවක් ලබා දෙන්න කියලයි. මට වෙච්ච දේ තවත් අම්මා කෙනෙක්ට වෙන්න දෙන්න එපා. මේ ලෝකේ ගැන දන්නෙවත් නැති කිරි සප්පයන්ට මෙහෙම කරන්න එපා”

මෙම සිදුවීම සම්බන්ධව වැලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ගාමිණී ගුණරත්න මහතා පවසා සිටියේ, එන්නත විද්දේ 2වැනිදා බවත්, 5වැනිදා දරුවා මියගොස් ඇති බවත්, මෙයට එන්නතේ සම්බන්ධයක් නැති බවත් ය.

මරණ පරීක්ෂණ වාර්තාවක් දී නැති නිසා හරි තීන්දුවක් ගත නොහැකි බවත් හෙතෙම තවදුරටත් පැවසීය.

-මහේෂ් මලවරආරච්චි