matara-slip

මේ දිනවල මාතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඒ ආශ්‍රිත අතු ගංගා පිටාර ගලා ඇත. කඳු හා ගස් කඩාවැටීම් හේතුවෙන් මාර්ග කීපයක ගමනාගමනයට බාධා සිදුවූ බව මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
මාතර තංගල්ල ප්‍රධාන මාර්ගයේ එළියකන්ද හන්දියට ආසන්න ප්‍රදේශයේදී ගස් සමග පස් කන්දක් කඩාවැටීම නිසා එළියකන්ද මාර්ගයේ ගමනාගමනයට බාධා පැමිණ තිබූ අතර මාතර පල්ලිමුල්ල ප්‍රදේශයේදී ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩාවැටීමෙන් ගමනාගමනයට බාධා සිදුව තිබිණි.



මහ වැස්සත් සමග ඊයේ (28 වැනිදා) දහවල් වන විට ඇතිව තිබූ ගංවතුර තත්ත්වය මත අකුරැස්ස සියඹලාගොඩ මාර්ගය, අකුරැස්ස කඹුරුපිටිය මිර්ගය, කඹුරුපිටිය විටියල හරහා මාතර මාර්ගය, කඹුරුපිටිය අතුරලිය හරහා අකුරැස්ස මාර්ගය, කඹුරුපිටිය කදුදූව හරහා මාතර මාර්ගය, කඹුරුපිටිය මුලටියන මාර්ගය, අකුරැස්ස, අතුරලිය, කද්දූව, මාලිම්බඩ හරහා මාතර මාර්ගයන්හි ගමනාගමනයට බාධා පැමිණ තිබිණි.

අකුරැස්ස දෙණියාය මාර්ගයේ කොස්නිල්ගොඩ මාර්ගයට පස්කන්දක් කඩාවැටීමෙන් ගමනාගමනයට බාධා පැමිණ තිබූ අතර උරුමුත්ත ඔය පිටාර ගැලීමෙන් මුලටියන කඹුරුපිටිය මාර්ගය ජලයෙන් යටව පැවතියේය.

එමෙන්ම කඹුරුපිටිය ලේනබටුව වැව වාන්දැමීම හේතුවෙන් කඹුරුපිටිය අකුරැස්ස මාර්ගයයට ජලය එක්රැස් වෙමින් පැවතියේය.

කොටපොල හා පිටබැද්දර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතර සඳහා නායයාම් අනුතරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබිණි.

මෙයට අමතරව වාර්මාර්ග දෙපාර්තමෙන්තුව විසින් නිකුත කළ නිවේදනයක සඳහන් වූයේ තවදුරටත් වර්ෂාව පැවතිහහොත් නිල්වලා ගංද්‍රෝණියේ කොටපොළ, පිටබැද්දර, පස්ගොඩ, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිල්වලා ගඟ පිටාරතැන්නට අයත් ප්‍රදේශවල පහත්බිම්වලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.

ජයසිරි පේදුරුආරච්චි - මාතර