moratuwa-degree-anthare

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් පිහිටුවීමට සැලසුම් කිරීමට සමගාමීව මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිය විකිණීමට තීරණය කර තිබෙන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි.

මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිය මුදලට විකිණීම සඳහා පීඨයට ඇතුළත් වන ශිෂ්‍යයන්ට මාස 06කට පසු පැවැත්වෙන මූලික විභාගය පවා අහෝසි කර දැමීමට සැලසුම් කර තිබෙන බවද එම සංගමයේ කැඳවුම්කරු මදුෂාන් චන්ද්‍රජි මහතා පැවසීය.



මෙම පීඨයෙන් ලබාදෙන ඉංජිනේරු උපාධිය අඩු අධ්‍යාපන සුදුසුකම් සහිත පිරිස් සඳහා මුදලට විකිණීම සඳහා මේ ආකාරයට මූලික විභාගය පවා අහෝසි කර දැමීමට සැලසුම් කර තිබෙන බවත්, මෙම ක්‍රියාව හරහා උපාධිවල ගුණාත්මකභාවයටත් බලපාන බවත් ඒ මහතා පවසා සිටියේය.

රජයේ වෛද්‍ය පීඨවල ආචාර්ය මණ්ඩලය හිඟවීම ඇතුළු ගැටලු රැසක් ඇති වී තිබියදීත් අදාළ ගැටලුවලට විසඳුම් ලබානොදී පෞද්ගලික වෛද්‍ය පීඨ තුනක් ඇති කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙන බවත්, මෙම ක්‍රියාවටත් දැඩිව විරෝධය දක්වන බවත් මදුෂාන් චන්ද්‍රජි මහතා සඳහන් කළේය.



මේ අනුව ඉංජිනේරු උපාධිය විකිණීමට සැලසුම් කිරීමට එරෙහිව හා පෞද්ගලික වෛද්‍යපීඨ තුනක් ඇති කිරීමට සිදුකරන සැලසුම් පරාජයට පත් කිරීම සඳහා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඒකාබද්ධ කර ගනිමින් ඉදිරියේ දී දැවන්ත විරෝධතා ව්‍යාපාර පවත්වන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

 ඉන්දික හේවාවිතාරණ