දරුවන් විසින් භාර ගැනීම ප්‍රතික්ෂේප කළ වයසක තිදරු මවකගේ භාරකාරිත්වය ලේලියට පවරන ලෙස මාලිගාකන් ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය නියම කළාය.
මරදානේ මාලිගාකන්ද පාරේ දෙමහල් නිවෙසක පදිංචි 73 වියැති නිදරු මව මරදාන පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් තමන්ට දරුවන් තිදෙනකු සිටින බවත්, ඔවුන් තමාට රැකවරණය සැපයීම ප්‍රතික්ෂේප කරන බවත් දන්වා සිටියාය.
මරදාන පොලිසිය විසින් පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කළ අතර, මේ වන විට තමා රෝගීව හා වියපත්ව සිටින බැවින් තමන්ගේ වැඩ තනිවම කරගත නොහැකි තත්ත්වයක සිටින නිසා සුදුසු භාරකාරීත්වයකට පත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
මෙම මහලු කාන්තාව තවදුරටත් අධිකරණය ඉදිරියේ කියා සිටියේ සිය දරුවන් තිදෙනාගෙන් දියණිය හා එක් පුතකු දෙමහල් මහගෙදර තට්ටු දෙකේ ජීවත් වන බවයි. අනෙක් පුතා හෝකන්දර ප්‍රදේශයේ ජීවත් වන බවත්ය.
තමන් පහළ මාලයේ පදිංචි දියණිය භාරයේ සිටි බවත්, එසේ සිටියදී පසුගිය 3දා නිවෙසින් බැහැර ගමනක් ගිය අවස්ථාවේ ඇද වැටි ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කළ බවත් කියා සිටියාය. එහිදී රෝහලේ නේවාසිකව රැඳී සිටිමින් උපස්ථාන කිරීමට සහායිකාවකගේ සහාය අවශ්‍ය වුවත් දරුවකු එයට ඉදිරිපත් නොවූ නිසා ලේලිය රෝහලේ රැඳී සිටි බවත් කීවාය.
ප්‍රතිකාර අවසන් වීමෙන් පසු පුතා ඇය නිවෙසට කැඳවා ගෙන ගොස් දියණියට භාර දුන් විට ඇය මව භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.
මෙහිදී අධිකරණය කරුණු විමසු අවස්ථාවේ දියණිය මව භාර ගැනීම ප්‍රතික්ෂේප කළ අතර, ලේලිය ඇය භාර ගැනීමට ඉදිරිපත් වූවාය. ඇයගේ වයස හා රෝගී තත්ත්වය නිසා ඉහළ මහලක ජීවත් විය නොහැකි බව මව වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ස්ථානය පරීක්ෂණයක් කරන ලෙස පරිවාස නිලධාරිනියට නියෝග කළ අතර, මහලු මවගේ භාරකාරිත්වය ලේලියට පැවරුවාය. නඩුව ලබන ඔක්ද 30දා යළි කැඳවේ. මරදාන පොලිසියේ පො. කො. ගිහාන් බණ්ඩාර (92305), ප්‍රේමරත්න (97223) යන නිලධාරීහූ පැමිණිල්ල මෙහෙයවූහ.
චන්දන ජයවීර
0 Comments