nimal-siripala-mattala

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මේ වසරේ මුල් මාස අටේදී රුපියල් කෝටි 16ක ආදායමක් ලබද්දී, එම කාල සීමාවේදී ගුවන්තොටුපොළ පවත්වාගෙන යෑමට රුපියල් කෝටි 102ක මුදලක් වැය කර ඇතැයි වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (5 වැනිදා) පැවැසීය. මත්තල ගුවන්තොටුපොළ වාර්ෂිකව රුපියල් කෝටි 100ක පාඩුවක් ලබන බව ද ඔහු සඳහන් කළේය.



අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ, සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ගුවන්තොටුපොළ රජයට වැය බරක් නොවන ආකාරයට පවත්වාගෙන යෑමට සැලසුමක් සකස් කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.මත්තල ගුවන්තොටුපොළේ මේ වසරේ, මේ දක්වා කාලයේ ගඟන ආදායම රුපියල් පන් කෝටි හතළිස් ලක්ෂයක් බවත්, ගගන නොවන ආදායම රුපියල් දස කෝටි අනූ ලක්ෂයක් බවත්ඔහු පැවැසුවේය.

ගුවන්තොටුපොළ ඉදිකිරීමට චීනයේ එක්සිම් බැංකුවෙන් සියයට දෙකේ පොලියට ඩොලර් මිලියන 189 ක් ලබාගෙන ඇති බව පැවැසූ අමාත්‍යවරයා, එම මුදල වසර පහළොවකින් ගෙවා නිම කළ යුතු බව ද සඳහන් කළේය. මෙයට අමතරව, දේශීය ණය වශයෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් කෝටි 400ක් ලබාගෙන ඇති බවත්, එය වසර 15කදී ගෙවිය යුතු බවත් නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.
අංජුල මහික වීරරත්න