online-passport

විදේශ ගමන් බලපත්‍රය අයදුම් කරන අයට මාර්ගගත ක්‍රමය ඔස්සේ ගමන් බලපත්‍රය ඉල්ලුම්කර සතිදෙකක් ඇතුළත නිවෙසටම එය ගෙන්වා ගැනීමට හැකිවන පරිදි පසුගියදා හඳුන්වා දුන් වැඩපිළිවෙළ යටතේ ගමන් බලපත්‍ර අයදුම් කළ තමන්ට මාස එක හමාරකට අධික කාලයක් තිස්සේ ගමන් බලපත්‍රය ලැබී නැතැයි එසේ අයදුම් කළ පිරිසක් මැසිවිලි නගති.මේ පිළිබඳව පොල්ගම්විට ප්‍රදේශයේ කාන්තාවක් මෙසේ කීවාය.

මම අගෝස්තු මාසෙ 8 වැනිදා සාමාන්‍ය සේවාක්‍රමයට ගමන් බලපත්‍රය ලබා ගැනීමට මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කළා. රුපියල් 5000/= ක්ද මාර්ගගත ක්‍රමයට ගෙව්වා. නමුත් දැන් දවස් දාහතරක් නෙවෙයි මාස එක හමාරක් ගත වෙලත් මට පාස්පෝට් එක ලැබුණෙ නෑ.එඒ ගැන කිසිම පිළිතුරක්වත් ලැබිලා නෑ.

ඒ ගැන විමසීමක් කරන්න 1962 ක්ෂණික දුරකතන අංකයට කීප පාරක් ඇමතුමක් ගන්න උත්සාහ කළත් කාර්යබහුල බැවින් මඳක් රැඳී සිටින්න යන පිළිතුර පමණයි ලැබුණේ, දවසක් තිස්සේ උත්සාහ කළත් ලැබෙන්නෙ ඒ උත්තරේ පමණයි.මේ පිළිබඳව දුරකතනයෙන් කළ විමසීමේදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක හංසිකා කුමාරසිංහ මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය.

මේ වැඩසටහන ආරම්භයේදී කිසියම් තාක්ෂණික දෝෂයක් නිසා ගමන් බලපත්‍ර නිකුත් කිරීම ප්‍රමාදවුණා.දැන් එය නිවැරදි කර තියෙනවා. දවස් 14න් නෙවෙයි ගැටලු නොතිබූ ඉල්ලුම්පත් සඳහා දවස් දහයෙනුත් බලපත්‍ර ලබාදී තියෙනවා.

ඇතැම් අයදුම්කරුවන් ඉල්ලුම්පත්‍රය හරියට සම්පූර්ණ කර නෑ. සමහරු අලවල තියෙන්නෙ තමන්ගෙ පිංතූරෙ නොවෙයි වෙන කාගෙ හරි එකක්. ඒ වගේ ගැටලු ආවම තමයි ප්‍රමාද වෙන්නෙ. තාක්ෂණය දියුණු වුණාට අපේ සමහරුන්ගෙ සාක්ෂරතාව දියුණු වෙලා නෑ. ක්ෂණික ඇමතුම් අංකයට පිළිතුරු නොලැබීම පිළිබඳව ඇය පැවසුවේ ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබෙන බැවින් සිටින අඩු සේවක පිරිසට ඒවාට පිළිතුරු දීගත නොහැකි  නිසා එම තදබදය ඇතිවන බවයි.


 එස්. වික්‍රමආරච්චි