orugodawatte-incident

ගනේමුල්ල පොලිස් වසමේ නිවෙසක් බිඳ මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑමක් සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි යතුරුපැදියක් ඔරුගොඩවත්ත පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළුවීමට උත්සාහ දැරීමේදී 9 වැනිදා රාත්‍රී අත්අඩංගුවට ගත් බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය පවසයි.

යතුරුපැදිය පොලිස් බාරයට ගැනීමට යාමේදී පැදිකරුවන් දෙදෙනකු යතුරුපැදිය හැර දමා පලාගොස් ඇතැයිද පොලිසිය කියයි.



අධිවේගී මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරු පොලිස් ඒකකයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනකු ඔරුගොඩවත්ත අධිවේගී පිවිසුමේ රාජකාරියේ නිරතව සිටියදී බේස්ලයින් යතුරුපැදියක් එක්වරම මාර්ගය දෙස සිට පැමිණි ඔරුගොඩවත්ත පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වීමට උත්සාහ කර තිබේ.

එම අවස්ථාවේදී රාජකාරියේ නිරතව සිටි සැරයන් (51647) උපාලි සහ කොස්තාපල් (27222) කුඩාබණ්ඩා යන නිලධාරීන් දෙදෙනා ක්ෂණිකව ක්‍රියාත්මක වී යතුරුපැදිය නවත්වන ලෙසට සංඥා කර ඇති අතර එහිදී කලබලයට පත්වූ පැදිකරුවන් දෙදෙනා යතුරුපැදිය මාර්ගය මැද අතහැර දමා පලාගොස් ඇතැයි පොලිසිය පවසයි.



පසුව මාර්ගය මද අතහැර දමා ගිය යතුරුපැදිය පෑලියගොඩ අධිවේගී මාර්ග අන්තර් හුවමාරු පොලිස් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියශාන්ත මහතාට බාරදීමෙන් පසුව වැඩිදුර විමර්ශන සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිසියට බාරදී ඒ පිළිබඳව අවට පොලිස් ස්ථාන දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව අදාළ පොලිස් පණිවුඩය ලද විගසින් ගනේමුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ තිබූ යතුරුපැදි බාරයට ගෙන ඇති අතර එම යතුරුපැදිය භාවිත කරමින් ඉකුත් 07 වැනිදා රාත්‍රී ගනේමුල්ල පොලිස් වසමේ නිවෙසකට ඇතුළු වී රුපියල් ලක්ෂ ගණනක රන් භාණ්ඩ හා දේපළ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය සොයමින් තිබූ යතුරුපැදියක් බවට තොරතුරු අනාවරණය වූ බවත් පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මයුර පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ, සහකාර පොලිස් අධිකාරි (බස්නාහිර පළාත) වසන්ත අතුකෝරල මහතාගේ උපදෙස් මත අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසයේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසේකර මහතාගේ මෙහෙයවීමෙන්, පෑලියගොඩ අන්තර් හුවමාරු පොලිස් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියශාන්ත, සැරයන් (51647) උපාලි කොස්තාපල් (27222) කුඩාබණ්ඩා ඇතුළු නිලධාරීහු ඉදිරි පරීක්ෂණ පවත්වති.

  මත්තේගොඩ - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න