piliyandala-incident

සංචාරක මාර්ගෝපදේශකයකු සතුව තිබූ රුපියල් ලක්ෂ 12 ක් පමණ වටිනා රන් දම්වැලක් කොල්ල කෑමෙන් දින 16 කට පසු මත්කුඩු ළඟ තබාගත් වරදට හසුවී කළ ප්‍රශ්න කිරීම්වලදී මාල කොල්ලය පිළිබඳව හෙළිදරව් කරගැනීමට හැකි වූ බව පිළියන්දල පොලිසිය පවසයි.

පිළියන්දල, දේවානන්ද පාරේ රාජකාරියේ නිරතව සිටි පිළියන්දල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් හෙට්ටිආරච්චි මහතා ඇතුළු නිලධාරීන් කිහිපදෙනකු සැකකටයුතු ලෙස පැමිණි යතුරුපැදියක් නවතා පරීක්ෂා කිරීමේදී එම පුද්ගලයා සතුව හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 5 යි මිලිගෑම් 200 ක් තිබී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී රන්දම්වැල කොල්ලකෑම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.



රන් දම්වැල කොල්ල කෑ බව කියන සැකකරු පිළියන්දල ගොරකාපිටිය බ්ලූ වෝටර්ස් ප්‍රදේශයට රැගෙන ගොස් කළ සොයා බැලීමේදී ප්‍රදේශවාසීන්ගෙන් ලත් තොරතුරු මත රන්දම්වැලේ අයිතිකරු සොයාගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.ඉකුත් අගෝස්තු මස 22 වැනිදා අලුයම 5.00 ට පමණ රන්දම්වැලේ හිමිකරු ශාරීරික ව්‍යායාම්වල යෙදෙන අවස්ථාවේදී කොට්ටාව දෙස සිට යතුරුපැදියක් පදවාගෙන ආ පුද්ගලයකු දොලේකනත්ත දෙසට යන පාර අසා ඇති අතර පසුව යතුරුපැදියෙන් පැමිණි ඔහු එකවරම ගෙල බැඳි රන් දම්වැල කඩාගෙන ක්ෂණිකව යතුරුපැදියෙන්ම පලා ගිය බව

පොලිසිය කළ මූලික විමර්ශනවලදී හෙළිවී තිබේ.එම අවස්ථාවේදී දැඩි අඳුරක් පැවති හෙයින් කොල්ලකරු පැදවූ යතුරුපැදියේ අංකය හෝ බලා ගැනීමට නොහැකි වූ බැවින් රන්දම්වැලේ ආසාව අත්හැර දමා පොලිසියට පැමිණිලි නොකර තමන් නිවෙස බලා ගිය බව මාලයේ හිමිකරු පොලිසියට පවසා ඇත. සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ කොල්ල කෑ රන් දම්වැල බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පුද්ගලයකුට රුපියල් ලක්ෂ නවයකට විකුණා ඇති බවය.



සැකකරු පදවාගෙන ආ යතුරුපැදිය සම්බන්ධයෙන් කළ වැඩිදුර පරීක්ෂාවේදී එම යතුරුපැදිය මහරගම පොලිස් වසමේ ඇරැව්වල ප්‍රදේශයෙන් සොරාගත් එකක් බවට අනාවරණය වූ බවත් රතු පාටින් යුත් එම යතුරුපැදියට ඒ වන විට සුදු පාට වර්ණ ගන්වා තිබූ බවත් පොලිසිය පවසයි. සැකකරු මේ ආකාරයෙන් මීට මීට පෙරද බණ්ඩාරගම, පිළියන්දල, කැස්බෑව, මොරටුව ආදී පොලිස් වසම් කීපයක රන්මාල කොල්ලකෑම් රැසකට සම්බන්ධ වූවකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. 26 හැවිරිදි සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

බිමල් ශ්‍යාමන් ජයසිංහ