pradeepa-t-g-siyambalape-mulleria-kelani-river

කිසියම් සබඳතාවයක් පවත්වන පුරුෂයෙකු හා නගරයේදී හමුවූ 51 හැවිරිදි විවාහක කාන්තාවක හදිසියේ අතුරුදන්වීමෙන් පසු පොලිසිය මේ කාන්තාව ගමන් කළ තැන් පිරික්සා බලමින් සිටි අතරවාරයේ ඇගේ හිස නැති මළ සිරුර කැලණි ගං ඉවුරේ තිබී හමුවීමේ සිදුවීමක් සපුගස්කන්ද සියඹලාපේ පෙදෙසින් වාර්තාවේ.
දැනට ලැබී ඇති තොරතුරු අනුව කිසියම් මුදල් ගනුදෙනුවක් පවත්වන මෙම පුද්ගලයා හා නගරයේදී හමුවී ආහාර ගෙන ඔහුගේ වාහනයෙන් ඔහුගේ නිවසට යන මේ කාන්තාව එම නිවසේදී ඝාතනය වී ඇති බවක් හා ඊට කිලෝමීටරයක පමණ එපිට පිහිටි ගං ඉවුරේදී කවන්ද සිරුර හමුවී ඇති අයුරු නිරීක්ෂණය වේ.
සිද්ධිය විස්තරාත්මකව මෙසේය.
ටී.ජී.ප්‍රදීපා නමැති 51 හැවිරිදි මෙම විවාහක කාන්තාව පසුගිය 27 වැනිදා උදෑසන සිට ඇය පදිංචි මුල්ලේරියාව අතුරුදන් ව ඇති බව පවසමින් ඇය ගේ දියණිය විසින් මුල්ලේරියාව පොලීසියට පැමිණිල්ලක් ගොනු කර තිබිණි. ටවුමට යනවා කියා අම්මා ගියා ඒත් ආවෙ නැහැ. යයි පැමිණිලි කාරිය පවසා තිබුණි.


ඒ අනුව මුල්ලේරියාව පොලිසිය අදාළ දිනයේ දී සීසීටීවී දත්ත පරීක්ෂා කිරීම සඳහා පොලිස් කණ්ඩායමක් යොදවනු ලැබු අතර, එහිදී අනාවරණ වූයේ, මෙම කාන්තාව අංගොඩ සිට කඩුවෙල දක්වා නිල් පැහැති ත්‍රිරෝද රථයකින් ගොස් කඩුවෙල නගර මධ්‍යයේ කුඩා අවන්හලක ඉදිරිපිට වාහනයක් අසළට යන අයුරුය.
එහි රියදුරු අසුනේ සිටි පුද්ගලයකුට සංඥාවක් කර ඔහු සමග එම අවන්හලට යන ඇය එහිදී දෙන්නා එක්ව දවල් ආහාරය ගන්නා අයුරු සීසීටීවී කැමරාවේ පටිගත වී තිබිණි.
 විනාඩි 10ක් පමණ ආහාර ලබා ගැනීමෙන් පසු රියදුරු අසුනේ සිටි පුද්ගලයා සමග ඔහුගේ වාහනයෙන් ඇය පිටව යන්නීය. ඉන්පසු ඇය ගැන තොරතුරු නැත.
ඔවුන් ගමන් කරන KI 3030 දරන අළු පැහැති මෝටර් රථය ගැන දෙපාර්තමේන්තු දත්ත පිරික්සීමේදී
 එය සියඹලාපේ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන සුධීර වසන්ත නම් පුද්ගලයෙකුට අයත් වූවක් බව හඳුනාගනී.
මෙම කාන්තාව විවාහකයෙකුවූ ඔහු සමඟ වසර 20ක පමණ සිට සමීප සබඳතාවක් පවත්වා ඇති බව කාන්තාවගේ දියණිය පවසා ඇති අතර ඔවුන් දෙදෙනා අතර කලක පටන් මුදල් ආරවුලක් හේතුවෙන් බහින් බස්වීම් සිදු ව ඇති බවද ඇය පවසා තිබේ.


වාහන දත්ත ඔස්සේ සියඹලාපේ ප්‍රදේශයේ ඔහු පදිංචි නිවසට ගිය පොලිසියට ඔහු එහි නැති බවත් එම නිවස අත්හැර දමා ඇති නිවසක් බවත් හඳුනාගන්නට ලැබිණි. කෙසේ වෙතත් පොලීසිය වැඩිදුර පරීක්ෂා කිරීමේ දී එහි කාමරයක් තුළ තිබී දිගු කෙස් සහ ලේ පැල්ලම් මෙන්ම එම නිවසින් පිටත අර්ධ වශයෙන් පිලිස්සී තිබූ ලේ පැල්ලම් සහිත කාන්තා ඇඳුම් කොටස් ද සොයාගන්නට හැකිවිය.නමුත් මළ සිරුරක් පෙනෙන්ට නොතිබිණි.
සපුගස්කන්ද පොලීසියට දැනුම්දීමෙන් අනතුරු ව ඔවුන් තවදුරටත් විමර්ශන සිදු කරන අතරතුර දී පෙරේදා දහවල් මෙකී නිවසට කිලෝ මීටරයක් පමණ දුරින් වූ කැලණි ගඟේ ඉවුරක තිබී හිස හා අත් පා නොමැති කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබුණි.

මෙම සිරුර දින දිකක සිට අතුරුදන් ටී.ජී ප්‍රදීපා නම් 51 හැවිරිදි කාන්තාව ගේ බවට ඇය ගේ දියණිය ඇතුළු ඥාතීන් විසින් ඊයේ පස්වරුවේ හඳුනාගත් අතර සැකය මතුවූයේ පෙර කී නිවසේදී ඇය ඝාතනය කර මෙතැනට සිරුරු කොටස් ගෙනවිත් දමන්නට ඇතිකියාය.

සමීප සබඳතාවක් පැවැත්වූ බව කියන  සුධීර වසන්ත නම් 55 හැවිරිදි පුද්ගලයා මේවනවිට අතුරුදන්ව ඇති අතර විදෙස්ගමන් තහනමක් ද පනවා ඇති ඔහු අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පතන බව පොලිසිය ප්‍රකාශ කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලීසිය හා සපුගස්කන්ද පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.