තම දරුවාගේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර ගැනීම සඳහා රාගම ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකු හමුවීම සඳහා පෝලිමේ සිටියදී මහෙස්ත්‍රාත්වරයකුගේ බිරිඳ සමග බහින්බස් වූ බව කියමින් තමා සහ බිරිඳ සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කරවීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බව සඳහන් කරමින් තරුණ අඹු සැමි යුවලක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය.
පෝලිම් පැන්න මහෙස්ත්‍රාත්වරයාගේ බිරිඳ සමග බහින්බස් වීමක් වූ බව කියමින් තමන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර වීමෙන් රාගම පොලීසියේ නිලධාරීන් තම මූලික අයිතිවාසිකම් කඩ කිර්ම වෙනුවෙන් තමන්ට රුපියල් කෝටියක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලමින් තරුණ අඹු සැමි යුවළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කොට ඇත.
මහෙස්ත්‍රාත්වරයකුගේ බිරිඳට සුවිශේෂ සැලකිල්ලක් දැක්වීම හේතුවෙන් තමා මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි සඳහන් කරමින් මෙම පෙත්සම ගොනු කරනු ලැබූවේ චමින්ද කෞශල්‍ය සහ දිනූෂා රණතුංග යන මහත්මා මහත්මීන්ය.
චමින්ද කෞශල්‍ය සහ දිනූෂා රණතුංග යන තරුණ අමු සැමි යුවළ ගොනු කොට ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් රාගම පොලිස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
නීතිඥ මංජුල බාලසූරිය මහතා මගින් සිය මූලික අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන්නැයි ඉල්ලා සිටින තරුණ අඹු සැමි යුවළ තම දරුවාගේ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා වෛද්‍යවරයකුගෙන් උපදෙස් ගැනීමට රාගම ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ගිය බව සඳහන් කොට ඇත.
වෛද්‍යවරයා හමුවීම සඳහා තමන්ගේ වාරය පැමිණෙන තුරු පෝලිමේ සිටියදී හදිසියේ එහි පැමිණි කාන්තාවක් පෝලිම පිළිබඳ නොසලකමින් කෙළින්ම වෛද්‍යවරයා හමුවී ඇතැයි සඳහන් කරන පෙත්සම්කරුවෝ ඒ පිළිබඳ ඇගෙන් ප්‍රශ්න කිරීමේදී තමා මහෙස්ත්‍රාත්වරයකුගේ බිරිඳ බව ඇය සඳහන් කළ බවත්, ඒ අවස්ථාවේදී ඇය සමග බහින්බස් වීමක් වූ බවත් සඳහන් කරති.
මෙම බහින්බස් වීමෙන් අනතුරුව එහි පැමිණි රාගම පොලිසියේ නිලධාරීන් පිරිසක් තමන් අත්අඩංගුවට ගෙන රාගම පොලීසියට රැගෙන ගිය බවත්, පසුදා තමන් වැලිසර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කොට රිමාන්ඩ් භාරයට පත් කරවූ බවත්, සඳහන් කරන පෙත්සම්කරුවෝ ඉන් සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි කියා සිටිති.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් කොට වරදකරුවන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට බලධාරීන්ට නියම කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ තම මූලික අයිතිවාසිකම් කඩකළ වගඋත්තරකරුවන්ගෙන් රුපියල් කෝටියක වන්දියක් අයකර දෙන්නැයි ද කියති.
බුද්ධිමාල් රුබේරු
0 Comments