rajapaksa-covid-navy

රාජපක්ෂ පවුලේ 548 දෙනකුගේ නිවෙස්වලට නාවික හමුදාව නොමිලේ ආහාර පාන දුන්නැයි කියමින් අසත්‍ය පුවතක් අන්තර්ජාලය මගින් ප්‍රචාරය කිරීමේ චෝදනාවට වරද පිළිගත් තරුණයකුට මාස 06ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර එය වසර 05කට අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (19) නියෝග කළේය.මෙලෙස අත්හිටවූ සිර දඬුවම් නියම වූයේ කාවන්තිස්සගම, තිස්සමහාරාමය පදිංචි මුතුමාල ශශීන් ප්‍රබෝද නමැති තරුණයාටය.



මේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරය විසිනි. ඒ ඉකුත් 2020 වසරේ මාර්තු මස 20 වැනිදාය.මහජනයාට බියක් ඇතිවන අන්දමින් කොරෝනා වයිරසය සම්බන්ධයෙන් සහ අසත්‍ය පුවතක් බව බව දැන දැනම මෙම සැකකරු “රටේ නොපෙනෙන පැතිකඩක් මෙසේද සිදුවේ" යන මැයෙන් පෝස්ටුවක් නිර්මාණය කර රාජපක්ෂ පවුලේ 548 දෙනකුට නාවික හමුදාව නොමිලේ කෑම බීම ගෙනගොස් දෙමින් සිටින බවට සඳහන් කරමින් එම අසත්‍ය පුවත වස්අප් මාර්ගයෙන් ප්‍රචාරය කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.



මෙම සැකකරු ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 485 වගන්ති ප්‍රකාරව වරදක් කර ඇති බවට සඳහන් කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම තරුණයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදා හැරීමට නියෝග කර තිබිණි.පසුව නඩු විභාගයේදී එම සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගත් සැකකරුට අත්හිට වූ සිරදඬුවම් නියම කිරීමට අධිකරණය තීන්දු කළේය.
නිමන්ති රණසිංහ