ranil-cuba-usa

කියුබාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.



සැප්තැම්බර් 15 සිට 16 දක්වා කියුබාවේ හවානා නුවරදී පැවැත්වෙන G-77 රාජ්‍ය නායක සමුළුවට ඔහු මුලින්ම සහභාගී වීමට නියමිතයි.

ඉන් අනතුරුව ඔහු සැප්තැම්බර් 19 සිට 21 දක්වා අමෙරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි වාර්ෂික සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතය.

ඔහු දූත පිරිසක් ද කැටුව අද අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK-649 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගියේය.

ඩුබායි සිට ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස තවත් ගුවන් යානයකින් ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශගතව සිටින අතරතුර තම විෂය පථයට අයත් අමාත්‍යාංශ අධීක්ෂණය කිරීම සඳහා වැඩබලන අමාත්‍යවරුන් හතර දෙනෙකු පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසයි.

ඒ අනුව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය අනුපා පැස්කුවල් කාන්තා ළමා හා සමාජ සේවා වැඩබලන අමාත්‍යවරයා ලෙසත් පත් කර තිබෙනවා.

වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පත් කර තිබෙනවා.