rathmalana-incident-cctv

රත්මලාන දුම්රියපොළ ආසන්නයේ අද (10) සිදු වූ වෙඩි තැබීමේ සිදුවීමට අදාළ CCTV දර්ශනයක් හමු වී තිබේ.
අද අලුයම 4.30ට පමණ මෙම වෙඩිතැබීම සිදු ව තිබුණේ, රත්මලාන ඥානේන්ද්‍ර පාරේ විජයාරාම විහාරස්ථානය අසල දුම්රිය මාර්ගයට යාබදවයි.
වෙඩිවැදීමට ලක්වූයේ 34 හැවිරිදි විමුක්ති නුවන් සම්පත් පෙරේරා නම් ධීවරයෙකි.
ඔහු සිය ධීවර රැකියාව අවසන් කර නිවසට පැමිණ ඇති අතර, එහි දී යතුරු පැදියකින් සහ මෝටර් රථයකින් යම් පිරිසක් එම නිවසට පැමිණ තිබේ.


පොලිස් නිලධාරීන් යැයි හඳුනාදෙමින් ඉන් සිව් දෙනෙකු නිවස තුළට පිවිස ඇති අතර, ඔවුන් සතු ව අත් මාංචු ඇති ආකාරය CCTV දර්ශනවල සටහන් වී තිබුණි.
අනතුරුව ඔවුන් එම නිවස පරීක්ෂා කිරීමෙන් පසු නිවසේ සිටි 34 හැවිරිදි ධීවරයා රැගෙන යාමට අවශ්‍ය බවට පවසා තිබේ.
ධීවරයා නිවසින් පිටතට ගොස් දුම්රිය මාර්ගය අසල දී ඔහු සහ පැමිණි පිරිස අතර පොර බැදීමක් සිදු ව ඇති බවට වාර්තා වෙයි.
එම අවස්ථාවේ දී පැමිණි පිරිසෙන් එක් අයකු සතු ව තිබුණු පිස්තෝල අවියකින් වෙඩිතැබීමක් සිදු ව ඇති අතර, එය එල්ල වී ඇත්තේ අදාළ පුද්ගලයාගේ කලවා සහ උදර ප්‍රදේශයටයි.
තුවාල ලැබූ ධීවරයා කඩිනමින් කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට නිවැසියන් පියවර ගන්නා අතරතුර දී වෙඩිතැබීමට පැමිණි පිරිස යතුරු පැදියෙන් සහ මෝටර් රථයෙන් පළා ගොස් තිබේ.