rmv-fraud

නීති විරෝධීව ආනයනය කරන ලද මෝටර් රථ හා යතුරුපැදිවලට කලින් ලියාපදිංචි කෙරුණු රථවල අංක යොදා ලියාපදිංචි සහතික නිකුත් කිරීමේ ජාවාරමක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කිසියම් නිලධාරීන් පිරිසක් කරගෙන ගොස් ඇතැයි විගණන වාර්තාවක සදහන් වේ. සුඛෝපභෝගී වාහන තුනක් හා යතුරුපැදි 91ක් මෙලෙස අනීතිකව ලියාපදිංචි කිරීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 17කට ආසන්න ආදායමක් අහිමිව ඇති බව ද එම විගණන වාර්තාවේ දැක්වේ.

එසේ කටයුතු කර, කලින් ලියාපදිංචි කළ යතුරුපැදිවල දත්ත සියල්ල පද්ධතියෙන් මකා දමා ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ. එසේම වෙනත් වාහන පන්තියකට අයත් වාහන 31ක වැසි අංක හා එංජින් අංක වෙනස් කර වංචනිකව ආනයනය කරන ලද යතුරුපැදිවල තොරතුරු ඇතුළත් කර නව ලියාපදිංචි සහතික නිකුත් කර පැරැණි තොරතුරු පද්ධතියෙන් ඉවත් කර ඇති බව ද විගණන වාර්තාවේ දැක්වේ.

එසේම කලින් ලියාපදිංචි කරන ලද වෙනත් වාහන පන්තියකට අයත් වාහන 29ට අදාළ වැසි අංක හා එංජින් අංක වෙනස් කරමින් ද, කලින් ලියාපදිංචි කළ මෝටර් කාර් 11ක චැසි අංක හා එංජින් අංක වෙනස් කරමින් ද, දීර්ඝ කාලයක් තිස්සේ ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැතිව මගහරින ලද යතුරුපැදි 4ක තොරතුරු වෙනස් කරමින් ද, නීති විරෝධීව ආනයනය කරන ලද අනීතිකව එකලස් කරන ලද වාහන හෝ යතුරුපැදි සඳහා නව ලියාපදිංචි සහතික නිකුත් කර පැරැණි දත්ත පද්ධතියෙන් ඉවත් කර ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ.

එසේම ලියාපදිංචි කරන ලද වාහනයක් ස්වරූපය වෙනස් කරන බවට හෝ පෙට්‍රල් වාහනයක් ඩීසල් වාහනයක් ලෙස වෙනස් කරන බවට හෝ හඟවා නීති විරෝධීව ආනයනය කරන ලද වාහන විසිහතක් නීත්‍යනුකූල ඒවා ලෙස ලියාපදිංචි කර ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ.වාහනයක ස්වරූපය වෙනස් කිරීමේදී චැසි අංකය වෙනස් කිරීමට නීතියෙන් ඉඩක් නැතත් එම වාහනවල චැසි අංක වෙනස් කර තිබූ බව ද වාර්තාවේ සඳහන් වේ.ම

ෙම සිදුවීම්  සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා ඊට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද, අතීත දත්ත කිසිවක් මැකී නොයන සේ පරිගණක දත්ත පද්ධතිය වැඩිදියුණු කරන ලෙස ද විගණකාධිපතිවරයා මෝටර් රථ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට නිර්දේශ කර ඇත.

මුදිතා දයානන්ද